July 6, 2026

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වය, මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් හටගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම ප්‍රචණ්ඩකාරී ගැටුම මෙහෙයවා ඇත්තේ ‘බූරු මූණා’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ සමීපතමයකු වන ‘කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව වාර්තා සඳහන් කරයි.

කෙටිකාලීන සිරකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් 1800කට ආසන්න පිරිසක් රඳවා සිටින මෙම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්, විශේෂිත කුටිවල ඉබියතුරු කඩාදමා එහි සිටි අනෙකුත් රැඳවියන්ට ද පහර දී ඇත.

එමෙන්ම, තවත් පිරිසක් මත්වීමේ අරමුණින් එහි ඔසුසල බිඳ දමා වේදනා නාශක ඖෂධ අධිමාත්‍රාවෙන් පානය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, තුවාල ලැබූවන්ගෙන් 28 දෙනෙක් මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබති. බරපතළ තත්ත්වයේ පසු වූ තවත් දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

මේ අතර, ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන්ට සහාය පළකරමින් බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවක නිරත වූහ.

තම ඥාතීන් පිළිබඳ තොරතුරු ඉල්ලා බන්ධනාගාරය ඉදිරිපිට රැස්වූ පිරිසක් ද නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර, පසුව පොලිස් මැදිහත්වීමෙන් ඔවුන්ට රෝහල්ගත කළ රැඳවියන්ගේ සුවදුක් බැලීමට අවස්ථාව සලසා දී තිබේ.

දැනට බන්ධනාගාරය තුළ සහ පිටත තත්ත්වය පාලනය කිරීම සඳහා කැරලි මර්දන ඒකකය, විශේෂ කාර්ය බළකාය (STF) සහ පොලිස් කණ්ඩායම් විශාල පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත.