July 23, 2025

අලි ඇතුන් ඝාතනයට වැරදිකරුවන් වන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඇතුළුව රටේ වනජීවී ආඥාපනතට හදිසි සංශෝධන ගෙන ආ යුතු බව නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ, රටේ අලි ගහණය ආරක්‍ෂා කිරීමට සහ දැනට පවතින ගැටුම් සමනය කිරීමට පසුගිය ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද අසමත් වී ඇති බවයි.

පසුගිය ආණ්ඩු අලි ඇතුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ අතර වත්මන් ආණ්ඩුවටද ඒ සඳහා නිශ්චිත සැලසුම් නොමැති බවත්, අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අවම උපාය මාර්ගයක්වත් ක්‍රියාත්මක කිරීමට රජයට නොහැකි වනු ඇති බවටත් පූජ්‍ය වනවාසී රාහුල හිමි චෝදනා කළහ.

ගොවිබිම්වලට ඇතුළු වනසතුන් සම්බන්ධයෙන් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකර තිබූ ප්‍රකාශය හෙළාදකිමින් උන්වහන්සේ පැවසුවේ, එය බොළඳ සහ වගකීම් විරහිත ප්‍රකාශයක් බවයි.

එවැනි ප්‍රධාන විෂය පථයක් සම්බන්ධයෙන් කටයුතු කරන අයෙකුගෙන් මේ වගේ මෝඩ ප්‍රකාශ නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

වන අලි විදේශ ආදායම් ඉපැයිමේ මාර්ගයක් වන අතර ජාතික වස්තුවක් ලෙස සැලකිය යුතු බවත්, වර්තමාන වනජීවී ආඥාපනත යටත් විජිත සමයේ පනවන ලද්දක් බවත්, මෙම යල් පැනගිය නීති ප්‍රතිසංස්කරණය කර, අදට සහ අනාගතයට ගැළපෙන නව නීති හඳුන්වාදෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසුහ.

අලි ඇතුන් ආරක්ෂා කිරීම සහ ගැටුම් නිරාකරණය කිරීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය බව පැවසූ උන්වහන්සේ දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙන බවට ද අනතුරු ඇඟවූහ.