February 23, 2026

ඉන්දියාවේ අයෝධ්‍යා ශිව දේවාලයේ ප්‍රධාන පූජක කයිෂානන්ද ගිරිජි මහරාජ්ගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් අද උදෑසන විශේෂ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ.

පූජ්‍ය පක්ෂය සහ ගිහි නියෝජිතයන් යන දෙපිරිසගෙන්ම සමන්විත 14 දෙනෙකුගෙන් යුත් දූත පිරිස, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-192 ගුවන් යානයෙන් නවදිල්ලියේ සිට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණ තිබිණි.

දූත පිරිස පිළිගැනීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ගුවන්තොටුපළට පැමිණ සිටියේය.

සංචාරය අතරතුර, මෙම කණ්ඩායම මන්නාරමේ තිරුකේතීස්වරම්, යාපනයේ නගුලේශ්වරම්, ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම්, නුවරඑළියේ සීතා අම්මාන් කෝවිල මෙන්ම පොළොන්නරුවේ පුරාණ ශිව දේවාලය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ශිව දේවාල කිහිපයක සංචාරය කිරීමට නියමිතය.

සංචාරක දූත පිරිස ඔවුන්ගේ සංචාරය අතරතුර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද අපේක්ෂා කෙරේ.