March 31, 2024

ශ්‍රී ලංකාවේ සොල්දාදුවන් රුසියාවේ සේවය සඳහා යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවයක් නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

යුද හමුදාවේ ප්‍රකාශක මේජර් ජෙනරාල් කේ.ඒ.එන්. රසික කුමාර පැවසුවේ ශ්‍රී ලංකා හමුදාව සහ රුසියානු හමුදාව අතර එවැනි ගිවිසුමක් නොමැති බවයි.

විදේශ මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර නවයක් සේවය කළ ප්‍රවීණයකු රුසියානු පෙරමුණේ සේවය කරමින් සිටියදී මිය ගිය බවයි.

යුක්රේන හමුදාවේ සේවය කරමින් සිටියදී කපිතාන්වරයකු ඇතුළුව ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව 2023 දෙසැම්බර් මාසයේදී ද වාර්තා විය.

“හමුදාව මේකට සම්බන්ධ නැහැ. හමුදාවෙන් ගිය අය පෞද්ගලික පදනමින් යන්න ඇති. දැනට සේවයේ යෙදී සිටින කිසිම සෙබළෙක් ගිහින් නැහැ” මේජර් ජෙනරාල් කුමාර පැවසීය.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවේ සේවය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ තත්ත්වය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් බවත් කොන්සියුලර් සහාය අවශ්‍ය අයට උපකාර කිරීමට ඔවුන් උත්සාහ කරන බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු පැවසුවේ වෙනත් රටවල යුද්ධ සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම නීති විරෝධී බවත් දැනට එසේ කරන නියෝජිතයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක වන බවත්ය.

(The Morning)