March 13, 2024

සිය කුඩා දරුවා වෙනත් කාන්තාවකට පවරා ශ්‍රී ලංකාවෙන් පළායෑමට උත්සාහ කළ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ 35 හැවිරිදි වියේ පසුවන සැකකාර චීන කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදීය.

සැකකාර චීන ජාතික කාන්තාවගේ දරුවා රැකබලා ගත් ශ්‍රී ලාංකික කාන්තාව 51 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ සැකකාර චීන ජාතික කාන්තාවගේ දරුවා රැකබලාගත් කාන්තාව ඩුබායි හි පිහිටි අදාළ චීන ජාතික කාන්තාවගේ නිවසේ සේවය කර ඇති බවයි.

අනතුරුව ඇයගේ රැකියාව නිමවීමෙන් පසු පසුගියදා එම කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඩුබායි හි සේවය කරන අතරතුර ශ්‍රී ලාංකික කාන්තාව චීන කාන්තාවගේ බාල දරුවාට ඉතා සමීප වී ඇතැයි පැවැසෙයි.

එබැවින් එම කාන්තාව ශ්‍රී ලංකාව වෙත පැමිණි පසු චීන කාන්තාවට සිය දරුවා හැසිරවීමට නොහැකි වී ඇතැයි අනාවරණ වී ඇත.

අදාළ චීන ජාතික කාන්තාවට තවත් දියණියන් දෙදෙනෙකු ද සිටින අතර ඇය නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලාංකික කාන්තාවට දන්වා තිබේ.

ගුවන් තොටුපළේදී ඇයව මුණගැසෙන ලෙසත් චීන ජාතික කාන්තාව ශ්‍රී ලාංකික කාන්තාවට පවසා ඇත.

අනතුරුව සිය මව සහ තුන් හැවිරිදි දරුවා සමග කටුනායක ගුවන් තොටුපොළට පැමිණි චීන ජාතික කාන්තාව, එහිදී ශ්‍රී ලාංකික කාන්තාව හමුවී තිබේ.

කෙසේවෙතත් ටික වේලවකින් පසුව එම චීන ජාතික කාන්තාව අතුරුදන් වීම හමුවේ ශ්‍රී ලාංකික කාන්තාව විසින් ඒ සම්බන්ධයෙන් ගුවන් තොටුපළ පොලිසිය වෙත දැනුම් දී ඇත.

අනතුරුව පොලීසිය විසින් චීන ජාතික කාන්තාව සහ ඇයගේ මව ඩුබායි බලා යෑමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාව සහ ඇයගේ මව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.