July 10, 2026

ශ්‍රී ලංකාව පුරා පොකුරු තේ ගම්මාන 500 ක් පිහිටුවීම අරමුණු කරගත් “ලංකා තේ ගම්මාන” (Ceylon Tea Village) ජාතික වැඩසටහන එළඹෙන ජූලි 15 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, හල්ගොල්ල හපුගස්තලාව ප්‍රදේශයේදී නිල වශයෙන් ආරම්භ කෙරේ.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කළේ, මෙහි මූලික අදියර යටතේ දිස්ත්‍රික්ක 11 ක් ආවරණය වන පරිදි තේ ගම්මාන 144 ක කටයුතු ආරම්භ කරන බවයි.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් දියත් කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වසර වන විට මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම සහ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක් දක්වා වර්ධනය කිරීමයි.

මෙම ව්‍යාපෘතිය කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පූර්ණ මෙහෙයවීම හා නායකත්වය යටතේ ක්‍රියාවට නැංවේ.

මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ, ලෝක ප්‍රකට රසයකින් සහ ගුණයකින් යුත් “සිලෝන් ටී” දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ශක්තියක් වූ බවයි.

මෙම තේ ගම්මාන 500 පිහිටුවීම මඟින් රටේ තේ නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ යන අතර, එමඟින් අපනයන ආදායම තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයකින් වර්ධනය කර ගැනීමටත්, සුළු තේ වතු හිමියන් මෙන්ම ජාතික ආර්ථිකය ද ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව හෙතෙම අවධාරණය කළේය.

දැනට ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 95% ක්ම විදේශ රටවලට අපනයනය කෙරෙන අතර දේශීය පරිභෝජනය සඳහා වෙන්වන්නේ 5% ක ප්‍රමාණයක් පමණි. මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් 75% ක් සඳහාම දායකත්වය සපයනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසිනි.

ඒ අනුව, මෙම නව වැඩසටහන හරහා කුඩා තේ වතු හිමියන්ගේ ආදායම් මාර්ග ඉහළ නැංවීම, අගය එකතු කළ තේ නිෂ්පාදන (Value-added tea products) හඳුන්වා දීම, තේ කර්මාන්තය සංචාරක ක්ෂේත්‍රය සමඟ බද්ධ කිරීම, නවීන සහ තිරසාර වගා ක්‍රමවේද ප්‍රචලිත කිරීම, හඳුනාගත් තේ ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තේ වගාකරුවන් වෙනුවෙන් සමුපකාර සමිති පිහිටුවීම ආදී බහුවිධ අරමුණු රැසක් ඉටුකර ගැනීමට නියමිතය.