August 28, 2026

ප්‍රධාන පෙළේ විද්‍යාලයක බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයකු වන බෞද්ධ භික්ෂුවක් සහ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ඌරගස්මන්හන්දිය පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව අලුත්ගම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් පෙරේදා පස්වරු 6.30ට පමණ නවත්වා පරීක්ෂා කර ඇත. එහිදී රථයේ ගමන් කළ භික්ෂුව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1315ක් සහ රියදුරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1305ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ, බෝම්බුවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 39 හැවිරිදි භික්ෂුවකි.

මෙම භික්ෂුව ඉකුත් වසරේ ඔක්තෝබර් 20 වැනි දින ද අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1305ක් සන්තකයේ තබාගැනීමේ වරදට වීරවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අයෙකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

භික්ෂුව සමඟ අත්අඩංගුවට පත් රියදුරු නගොඩගල, හිපන්කන්ද ප්‍රදේශයේ පදිංචි සැලූන් ආයතනයක් පවත්වාගෙන යනු ලබන 39 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මන්හන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.