August 23, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ‘යූ ටියුබ්කරුවකු’ විසින් කල්තියා නිවේදනය කිරීම කණස්සල්ලට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.

හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මගේ මතය අනුව ඉතා නුසුදුසු ආකාරයකින් තමන්ගේ අදහස් දක්වන යූ ටියුබ්කරුවකු ඉන්නවා. මෙම විශේෂිත යූ ටියුබ්කරු හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා බව නිවේදනය කළා. ඉතින් මේකෙන් පේනවා තොරතුරු කාන්දු වීමක් සිදු වී තිබෙන බව. මෙය අපට කණස්සල්ලට කරුණක්,” යැයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

සාමාන්‍යයෙන්, පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගන්නා විට, මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ‘බී වාර්තාවක්’ ගොනු කරන බව හිටපු අමාත්‍යවරයා පැහැදිලි කළේය.

“ මූලික ආචාරශීලීත්වයක්වත් තිබිය යුතුයි. හිටපු රාජ්‍ය නායකයකුට ඒ ආචාරශීලීත්ව ලබා දෙන්න ඕනේ. නීතිඥයන් කරුණු ඉදිරිපත් කළහම මහේස්ත්‍රාත්වරයාට ඔවුන් රිමාන්ඩ් කරනවාද නැතහොත් ඇප මත මුදා හරිනවාද යන්න තීරණය කළ හැකියි. සෑම කෙනෙකුටම එක හා සමානව සැළකිව යුතුයි. නමුත් හිටපු ජනාධිපතිවරයකු සම්බන්ධයෙන් ගත්තම, අවම වශයෙන් යම් ආචාරශීලීත්වයක්, අවම ආචාරශීලීත්වයක් දිය යුතුයි,” යනුවෙන් හකීම් ප්‍රකාශ කළේය.