August 22, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළාය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ දීර්ඝ කරුණු දක්විම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම තීන්දුව ලබාදුන්නාය.

මෙහිදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ සැප්තැම්බර් මස 22 වනදා සහ 23 යන දිනවල සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166 ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ 33 ක් සටහන් කරගෙන තිබේ.

2023 වසරේ සැප්තැම්බර් මස 13 වනදා සිට 20 වැනිදා දක්වා කාලසීමාව තුළ කියුබාව සහ ඇමරිකාවේ නිල සංචාරයක නිරතවීමෙන් පසුව සැප්තැම්බර් මස 22 වැනිදා ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් තිබේ.

සිය බිරිඳගේ සම්මානිත මහාචාර්ය පදවිය ලබාගැනීම සඳහා ඔහු එහි ගොස් තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.

එම ගමන සඳහා හිටපු ජනාධිපති සමග ඔහුගේ බිරිඳ, පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, වෛද්‍යවරයකු සහ පොලිස් නිලධාරීන් ඇතුළු 10 දෙනකු සහභාගී වී තිබේ.

ඔහු මෙම සංචාරයට සහභාගී වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනයක් අනුව නොවේ.

මේ සඳහා මුදල් අනුමත කළේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසිනි.

ඔහු මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වශයෙන් හඳුනාගෙන තිබෙන බව අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා සඳහන් කළේය.

මෙම දින එක හමාරක සංචාරය තුළ වාහන සඳහා රුපියල් 4,475,160 ක් මුදලක්ද, වාහන අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 14 ආසන්න මුදලක්ද, ආහාර පාන සඳහා රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක්ද, හෝටල් පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 34 කට ආසන්න මුදලක්ද, ගුවන් තොටුපොළේ අමුත්තන් පරිහරණය කරන ස්ථානය වෙන්කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් 6000 මුදලක් වැයකර තිබෙන බවත් ඔහු පැවසුවේය.

එම වකවානුවේ ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තුළින් රටේ පවතින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් රාජ්‍ය මුදල් වැයකිරීමට උපදෙස් ලබාදී තිබුණු බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවක ඩොලරයක් සොයාගැනීමට පවා අපහසු තත්ත්වයක් තිබූ අවස්ථාවක පාලකයා වශයෙන් මෙම සැකකරු සිය පෞද්ගලික සංචාරය සඳහා මේ ආකාරයෙන් රජයේ මුදල් වැයකිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් සඳහන් කර සිටියේය.

මෙම වියදම් සඳහා පූර්ව අනුමැතිය ලබාගෙන නොමැති බවත් ඔහු කියාසිටියේය.

“මෙහිදී හිටපු ජනාධිපති ලේකම්වරයා වැරදි ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. රජයේ නිලධාරීන් දේශපාලකයින්ව හරි මග යැවිය යුතුයි. ඔහුට රජයේ අරමුදල් තමන්ගේ අභිමතයට යොදාගන්න බෑ.” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

“සැකකාර රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය තුළින් පිළිගෙන තිබෙනවා ඔහුගේ බ්‍රිතාන්‍ය සංචාරය පෞද්ගලික සංචාරයක් බව. ඒ වගේම සැකකරුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය ලබා දී ඇති කටඋත්තරයේ සඳහන් කර තිබෙනවා තමන් විදේශ කටයුතු අමාත්‍යංශයට යැවූ ඉල්ලීමේ මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් වශයෙන් සඳහන් කර තිබූ බව. එසේ නම් මෙම පුද්ගලික සංචාරය නිල සංචාරයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කළේ කවුද?” ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා.

මෙය බ්‍රිතාන්‍යයෙන් ලැබුණු නිල ඇරයුමක් අනුව ගිය ගමනක් නොවන බවත්, රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවක මෙවැනි වියදමක් දැරීම යුක්ති සහගතද? යන ප්‍රශ්නය මතුවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණය හමුවේ විමසුවේය.

“සැකකරු ප්‍රකාශ කරලා තිබෙනවා තමන්ගේ වැටුප රුපියල් ලක්ෂයක් බව. එසේ නම් මේ ආකාරයෙන් වියදමක් දරන්නේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, ජනාධිපතිවරයා යනු මහජනයාගේ භාරකරු බවත්, ඔහුට අත්තනෝමතික ආකාරයෙන් මහජන මුදල් වැයකිරීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති අතර ඊට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් පැවසුවේය.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ඇරඹී තිබෙන බව පැවසුවේය.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කර ඇති වාර්තාවක මෙම සංචාරය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙන බවත්, ඒ තුළ අවිධිමත් ක්‍රියාවක් සිදුවී නොමැති බව දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වාදුන්නේය.

එම වාර්තාව විමර්ශන නිලධාරීන් විසින් සැලකිල්ලට ගෙන නොමැති බවත්, ඒ ගැන සැලකිලිමත් වුණා නම් මෙවැනි නඩුවක් මතුනොවනු ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය.

රටේ ජනාධිපතිවරයකුට ලැබෙන ඇරයුම් සියල්ල නිල ඇරියුම් බවත්, මෙවැනි සංචාරවලට ්හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ලක්ෂ්මන් කදිරගාමර්, ලලිත් ඇතුළත්මුදලි වැනි නායකයන් සහභාගි වී තිබෙන බවත් ඔහු පෙන්වාදුන්නේය.

ජනාධිපතිවරයෙකුට සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට් පතක් ලබාගෙන විදේශයකට ගොස් කුලී රථවල ගමන් කරමින් මිත්‍රයින්ගේ නිවාසවල නවාතැන් ගනිමින් කටයුතු කළ නොහැකි බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා, එය රාජතාන්ත්‍රික තත්වයක් නොවන බවත් සඳහන් කර සිටියේය.

රනිල් වික්‍රමසිංහ මෙම බ්‍රිතාන්‍ය සංචාරයට සහභාගි වුනේ බ්‍රිතාන්‍යයේ වුල්ෆ් ඇම්ටන් විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යොමුකළ ඇරියුමක් අනුව බවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලැබුණු ඇරයුමක් නිල ඇරයුමක් නොවන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරයා යනු පැය 24 ම වැඩකරන පුද්ගලයකු බවත්, ඔහුට මෙම ඇරියුම ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ වශයෙන් නොව ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් බවත් ඔහු පෙන්වාදුන්නේය.

පැමිණිල්ල විසින් සඳහන් කළ මුදල් රෙගුලාසි අදාළ වන්නේ, අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සභාවල ලේකම්වරුන්ට පමණක් බවත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා වැනි නිල දරන්නන්ට ඒවා අදාළ නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

තම සේවාදායකයාට හෘද රෝග මෙන්ම පාලනය කළ නොහැකි දියවඩියා තත්ත්වයන් හා රුධිර පීඩන තත්ත්වයක් පවතින බවත්, ඔහුගේ බිරිඳ පිළිකා රෝගී තත්ත්වයක පවතින බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩු විභාගයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඊට මැදිහත් වී ප්‍රකාශ සිදුකිරීම නිසා නීතිඥ දෙපළ අතර උණුසුම් වාද විවාද වරින්වර හට ගැනීම දක්නට ලැබිණි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරියට අවස්ථා කීපයකදී මැදිහත් වී එම තත්ත්වය සමථයට පත්කිරීමට ද සිදුවිය.

අවසානයේ මහේස්ත්‍රාත්වරිය දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගනිමින් සිය තීන්දුව ලබාදුන්නාය.

මෙම වාද විවාද අතර අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වීමද සිදුවිය.