August 22, 2025

ලබන අගෝස්තු 24 වැනිදා ගාලු මුවදොර පිටියේදී අන්තර්ජාතික සරුංගල් සැණකෙළියක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ගෝලීය එකමුතුකම, නිර්මාණශීලිත්වය සහ සම්ප්‍රදාය සමරන මෙම සැණකෙළියට සත්කාරකත්වය සපයන්නේ දෙරණ මාධ්‍ය ජාලයයි.

දෙරණ නාලිකාවේ ලෝකය සහ ලෝකයෝ වැඩසටහනේ කොටසක් ලෙස 2015 දී ආරම්භ වූ මෙම සැණකෙළිය අන්තර්ජාතික පිළිගැනීමක් සහ සහභාගීත්වයක් ලබා ගනිමින් ලෝක මට්ටමේ උත්සවයක් දක්වා පරිණාමය වී තිබේ.

මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව, චීනය සහ ප්‍රංශය යන රටවල කීර්තිමත් සරුංගල් උත්සවවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් පසු, සංවිධායක කණ්ඩායම මෙවර මෙම සැණකෙළිය සංවිධාන කරයි.

මෙම වසරේ උත්සවය සඳහා මහාද්වීප පහ පුරා රටවල් 25කින් අන්තර්ජාතික සරුංගල් ක්‍රියාකරුවන් 55 දෙනෙක් සහභාගී වනු ඇත.

ශ්‍රී ලාංකික සරුංගල් ලෝලීන් 500 දෙනෙක් ද දැනට ලියාපදිංචි වී සිටින බව පැවසේ.

සහභාගී වන විදේශීය ජාතීන් අතර ජර්මනිය, නෙදර්ලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, චීනය, තායිලන්තය, දකුණු කොරියාව, බ්‍රසීලය, ටියුනීසියාව, තුර්කිය, ඇල්ජීරියාව, ලිබියාව, නේපාලය, ඉන්දියාව, සිංගප්පූරුව, රියුනියන් දූපත, ප්‍රංශය, කාම්බෝජය, යුක්රේනය, ඕස්ට්‍රේලියාව සහ වියට්නාමය ඇතුළත් වේ.

ඔවුන් සෑම අයෙකුම ඒ ඒ රටවල අද්විතීය සරුංගල් සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් ප්‍රදර්ශනය කරනු ඇත.

සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ සන්නාමකරණ ව්‍යාපෘතිය යටතේ දෙරණ මාධ්‍ය ජාලය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් මෙම සැණකෙළිය සංවිධාන කරයි.

සරුංගල් සැළකෙන්නේ සාමයේ සහ පරිකල්පනයේ ගෝලීය සංකේතයක් ලෙසිනි.

පුරාණ චීන යුධ පිටියේ සිට යුරෝපයේ සහ අමෙරිකාවේ නූතන උත්සව දක්වා, සරුංගල් නිදහස, ප්‍රීතිය සහ සම්බන්ධතාව සංකේතවත් කරයි.

කොළඹ අන්තර්ජාතික සරුංගල් උත්සවය, සුවිශේෂී ගෝලීය මට්ටමේ සරුංගල් උත්සව වන ගුජරාටයේ අන්තර්ජාතික සරුංගල් උත්සවය (ඉන්දියාව),
වයිෆැන්ග් සරුංගල් උත්සවය (චීනය), ඩීපේ සරුංගල් උත්සවය (ප්‍රංශය), පසීර් ගුඩාං උත්සවය (මැලේසියාව), වොෂින්ටන් ප්‍රාන්ත සරුංගල් උත්සවය (අමෙරිකා එක්සත් ජනපදය) යන උත්සව සමග අත්වැල් බැඳ ගනී.

මෙම සරුංගල් සැණකෙළිය වැදගත් වන්නේ එමගින් දර්ශනයකට වඩා වැඩි යමක් ප්‍රකාශ වන බැවිනි.

එය ශ්‍රී ලංකාවේ පොහොසත් උරුමය, ලෝකයට ඇති විවෘතභාවය සහ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා ඇති කැපවීම සමරනු ලබයි.