
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුළි ලංකාපුර විසින් මෙම නියෝගය නිකුත් කර ලැබිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේය.
” ස්වාමීනී…. 2022 වසරේ මැයි මස 9 වනදා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියට අදාළ නඩුකරයේ තිස්තුන් වන සැකකරු වශයෙන් මොහු නම්කර තිබෙනවා. අදාළ සිද්ධියේ සැකකරුවකු වශයෙන් මෙම පුද්ගලයාව නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් 2023 වසරේ අප්‍රේල් මස 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දෙමින් ලිපියක් නිකුත් කළා. එම ලිපිය නිකුත් වී දින කීපයකින් මොහු ඊට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඉන් පසුව අභියාචනාදීකරණය එම පෙත්සම විභාග කොට නීතිපතිවරයාගේ ලිපිය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කළා. අභියාචනාධිකරණයේ එම තීන්දුවට විරුද්ධව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එම අභියාචනය විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජුනි 22 වනදා අභියාචනාධිකරණයේ තීන්දුව තාවකාලිකව ක්‍රියාත්මක වීම වළක්වමින් තාවකාලික නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ නියෝගය නිකුත් වී දින කීපයකින් මේ සැකකරු අපේක්ෂිත ඇප අයදුම්පතක් ඔබතුමියගේ අධිකරණයට ඉදිරිපත් කළා. එම අපේක්ෂිත පෙත්සම ඊයේ දින ප්‍රතික්ෂේප කෙරුණා” යනුවෙන් සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ” ස්වාමීනි.. මේ පුද්ගලයාගේ ක්‍රියාකලාපය දෙස විපරම් කළ බැලීමේදී ඔහු සෑම විටම නීතියට අභියෝග කරමින් අධිකරණය මගහරිමින් කටයුතු කරන පුද්ගලයකු බව පෙනීයනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙනවා. පොලිස් නිලධාරින් ගණනාවකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. ඔහු එදා පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ නිසා ඔහුට බියෙන් සාක්කි නොදුන් පොලිස් නිලධාරින් සාක්ෂි දීමට ඉදිරිපත් වෙන්න හැකියාවක් තිබෙනවා. මොහු ඇපමත මුදවාහරිනු ලැබුවොත් ඔවුන්ට ස්වාධීනව සාක්ෂි දීමට නොහැකි වෙනවා” යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙම සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේය.
” ස්වාමීනි… ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිදුකර තිබෙන්නේ අභියාචනාධිකරණ තීන්දුව තාවකාලිකව අත්හිටුවීම පමණයි. අවසානාත්මක තීන්දුවක් තවම නිකුත් කර නැහැ. අභියාචනාධිකරණ තීන්දුවේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා මේ සැකකරුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැති බවට. ඒ නිසයි අභියාචනාධිකරණය නීතිපතිවරයාගේ තීරණය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කළේ. අදටත් ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ. අභියාචනාධිකරණය පැහැදිලිව සඳහන් කර තිබෙනවා නීතිපතිවරයාගේ ලිපිය අසාධාරණ බවට. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමත් විමර්ශනයක් සිදුකළා. ජාතික පොලිස් කොමිසම ලිපියක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා මොහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති බව. මොහුගේ අපේක්ෂිත අප පෙත්සම ඊයේ දින ප්‍රතික්ෂේප වුණා. එම නියෝගය නිකුත් වී විනාඩි 45ක් වත් ගතවුණේ නෑ ඔහුව අත්අඩංගුවට ගත්තා. මේක සම්පූර්ණයෙන්ම ද්වේශසහගත ක්‍රියාවක්. ඔහු වසර තිස්හයක් සේවය කළ ලංකාවේ 36 වන පොලිස්පති. ඔහු හිතාම හොඳ සේවයක් ඉටුකළ නිලධාරියෙක්. යුක්තිය මෙහෙයුම ගැන කවුරුත් ප්‍රශංසා කළා. වසරක් තුළ හැමදේම වෙනස්වුණා”.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා අමතමින් “ද්වේශ සහගත ආකාරයෙන් මෙම නඩුකරය ඉදිරිපත් කරන බවට විත්තිය විසින් චෝදනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යමක් කීමට තිබෙනවා දැයි ” විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා” ස්වාමීනි… ස්වාමීනී විත්තියේ නීතිඥවරයා සඳහන් කළා අභියාචනාධිකරණ තීන්දුවේ මෙම සැකකරුට විරුද්ධව සාක්ෂි නොමැති බවට සඳහන් කර තිබෙනවා කියලා. මේ නඩුවට අදාළ විමර්ශන ගොනු පරීක්ෂා කිරීමකින් තොරව අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා එවැනි තීන්දුවක් ලබාදෙන්නේ කොහොමද? ඒ නිසයි නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සිදු වුණේ. 2022 වසරේ මැයි මස නව වනදා අරලියගහ මන්දිරයෙන් සන්නද්ධව පිටත් වූ දෙදාහක පමණ පිරිසක් ඒ අසල තිබූ “මයිනා ගෝ ගමට” පහරදී එහි සිටි සාමකාමී විරෝධතා කරුවන් පලවාහැර ගාලු පාර් දිගේ ගාලු මූවදොර දෙසට ඇදුණා. ඒ අවස්ථාවේදී භූමියේ සිටි ජේෂ්ඨම පොලිස් නිලධාරියා තමයි මේ සැකකරු. ඔහුට මේ පිරිස ගාලු මෝදර වටරවුමේදී නවත්වාගැනීමට හැකියාව තිබුණා. ඊට පස්සේ ටාජ් සමුද්‍රා හෝටලය අසලදී නවත්වා ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එසේ කළේ නෑ. ඔහු තමන්ට පහළ සිටි නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණා මං කියනකං වෝටර් කැනන් යන්ත්‍ර පාවිච්චි කරන්න එපා කියලා. ඉන් පසුව අරලියගහ මන්දිරය දෙසින් පැමිණි පිරිස් ගාලුමෝදර ගෝඨා ගෝ ගම ප්‍රදේශයේ සිටි අරගලකරුවන්ට පහරදී පලවා හැරීමෙන් පසුව තමයි මොහු ක්‍රියාත්මක වුණේ. මේක මොහුගේ නොසැලකිල්ල නෙවෙයි. එම අපරාධයට ආධාර අනුබලදීමක්.” යනුවෙන් සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ” ස්වාමීනී.. මේ සැකකරු ප්‍රකාශ කර තිබුණා තමන් අදාළ විරෝධතාව නැවැත්වීමට කටයුතු නොකළේ ආරක්ෂක ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ උපදෙස් මත කියල. එහෙත් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඔවුන්ගේ ප්‍රකාශවලින් සඳහන් කර තිබෙනවා තමන් මේ සැකකරුට එවැනි උපදෙසක් ලබානොදුන් බවට. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙනවා. හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතුයි. ඊට අමතරව පොලිස් නිලධාරීන්ගෙනුත් ප්‍රකාශ ලබාගත යුතුයි.” යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේ, සිද්ධිය වූ අවස්ථාවේ කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ ජගත් චන්ද්‍ර කුමාර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත චන්ද්‍රසේකර යන අය සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා දී ඇති බවත් මෙම කලහකාරි සිද්ධිය විසුරුවාහරින ලෙස උපදෙස් ලබා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් පමණක් බවට ඔවුන් විසින් ප්‍රකාශ කර තිබෙන බවත් අධිකරණය හමුවේ පෙන්වාදුන්නේය..
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමුකළ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත පොලිස් නිලධාරින් කවර තරාතිරමක පුද්ගලයින් දැයි විමසුවාය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ ඔවුන් පහළ මට්ටමේ නිලධාරින් බවයි.
දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළාය.
එදිනට පෙර ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත සියලුම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඒවායේ සාක්ෂි සම්පිණ්ඩන මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart