July 19, 2025

මෙරට ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙක සඳහා එම සමාගම විසින් දරනු ලැබූ මූලික වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 300-500 අතර මුදලක් ශ්‍රී ලංකාව ඉන්දියාවේ අදානි සමාගම වෙත ගෙවීමට නියමිත බව Daily Mirror වාර්තා කරයි.

ඉන්දියාවේ Adani Green Energy සමාගම වත්මන් ආණ්ඩුව සමඟ එම ව්‍යාපෘති මිල ගණන් සම්බන්ධයෙන් ඇති වූ මතභේදවලින් පසුව අදාළ ව්‍යාපෘතිවලින් ඉවත් විය.

ඒ අනුව අදානි සමාගම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙරටදී දැරූ මූලික වියදම් ප්‍රතිපූරණය කරන ලෙස ඉල්ලා තිබේ.

ව්‍යාපෘතියෙන් ඉවත්වන බව සහ ප්‍රතිපූරණය ඉල්ලා මේ වසරේ මැයි මාසයේදී එම සමාගම රජයට ලිපියක් යොමුකර තිබිණි.

ඉන් පසුව, බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඉන්දීය සමාගම ඉල්ලා සිටින පරිදි ඔවුන්ගේ ප්‍රතිපූරණ මුදල් ගෙවීම් කළ යුතුද යන්න පිළිබඳ නීති උපදෙස් ලබාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් මූලාශ්‍ර උපුටා දක්වමින් Daily Mirror වාර්තා කර ඇත්තේ, ඇතැම් වියදම් ප්‍රතිපූරණය කිරීම සඳහා නීති උපදෙස් ලැබී ඇති අතර, එලෙස ගෙවීම් සිදුකරන මුළු මුදල රුපියල් මිලියන 300 සිට 500 දක්වා පරාසයක පවතිනු ඇති බවයි.

බලශක්ති බලපත්‍රය සඳහා අදානි සමාගම විසින් කරන ලද ගෙවීම කුමක් වුවත් ඒ සඳහා ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය නොවන ස්ථාවරයේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය පසුවන බව පැවැසේ.

කෙසේවෙතත්, ඉදිරි මාස කිහිපය තුළ නීතිපතිවරයාගේ අදහස් විමසීමෙන් සහ එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් පසු නිශ්චිත ප්‍රතිපූරණ ප්‍රමාණය තීරණය කරනු ඇත.

අදානි සමාගම සමාගම ඩොලර් මිලියන 442ක් ආයෝජනය කරමින් උතුරු පළාතේ මන්නාරම සහ පුනරීන් නගරවල සුළං බලාගාර ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතව තිබිණි.