
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘පාසල් දරුවන්ගේ බෑග් එක බර වැඩි යි’, ‘ඉගෙන ගන්න තියෙන විෂයයන් ගණන වැඩි යි’, ‘දරුවන්ට දරා ගන්න බැරි තරම් දේවල් උගන්වනවා’, මේ පාසල් යන වයසේ පසු වන දරුවන්ගේ දෙමාපියන් නිතර නගන මැසිවිලි කිහිපයකි.
එවැනි මැසිවිලි නගන බොහෝ දෙනෙකු යෝජනා කරන්නේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්රතිසංස්කරණයකට ලක්විය යුතු බව ය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්රතිසංස්කරණයක් හරහා නව විෂය මාලාවේ වෙනසක් සිදු කිරීමට නියමිතව තිබුණේ 2023 වසරේදී බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ඊට වසර දෙකකට පසු මේ වන විට නව අධ්‍යාපන ප්රතිසංස්කරණයක් හඳුන්වා දීමට වත්මන් රජය සැලසුම් කරයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රතිසංස්කරණ සඳහා මූලික සැලසුම් සකස් කෙරුණේ, පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත යටතේ ය.
විෂය මාලා සංශෝධනය ඇරඹෙන්නේ කවදා ද?
පසුගිය දා (ජූනි 12) අනුරාධපුරයේදී පැවති සාකච්ඡාවකදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
“2026 ජනවාරි 01 වෙනි දා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අපි සැලසුම් කරල තියෙනවා. ඒක ආරම්භ කරන්නේ 1 සහ 6 ශ්‍රේණිවලින්. සම්පූර්ණයෙන් ම ලංකාවෙ සියලු පාසල්වල මේ ක්‍රියාවලිය ආරම්භ කරනවා,” අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසීය.
කාලපරිච්ඡේදයක කාලය
මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ දිනයක පාසලක උගන්වනු ලබන කාලපරිච්ඡේද සංඛ්‍යාව 7කට අඩු කෙරෙන අතර, එක් කාලපරිච්ඡේදයක් ලෙස මිනිත්තු 50ක් ඉගැන්වීමේ කටයුතු සිදු කෙරේ.
“මේ ක්‍රියාවලිය හඳුන්වා දීමත් පාසලක කාලපරිච්ඡේදයක කාලය විනාඩි 50ක් බවට පත්වෙනවා. දැන් තියෙන්නෙ පීරියඩ් 8යි මං හිතන්නෙ. ඒක 7ක් බවට පත්වෙනවා. මේ වර්ෂය තුළදී අපට සිද්ධ වෙනව අවම වශයෙන් ගුරුවරුන් 100,000ක් පුහුණු කරන්න,” නාලක කළුවැව පැවසීය.
මෙම නව ප්‍රතිසංස්කරණයේදී විභාග අගැයීම් සිදුවන්නේ කෙසේ ද යන්න පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ද පැහැදිලි කිරීමක් සිදු කළේ ය.
“දහය එකොළහ ශ්‍රේණි අවසානයේදී දැනට පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ ආකාරයට ම විභාගයක් විදිහට පැවැත්වෙනවා. ඒ විභාගයේදි දැනට තියෙන විෂය මාලාවට වඩා වෙනස් විෂය මාලාවක් තමයි, ක්‍රියාත්මක වෙන්නෙ. එහිදී ප්‍රධාන විෂයයන් 5ක් සහ තෝරාගත් විෂයයන් දෙකක් තමයි, ජාතික මට්ටමෙන් පරීක්ෂා කරන්නෙ.”
මේ අතර, එක් එක් විෂයයන් සඳහා A,B,C අගැයීම් ක්‍රමය වෙනුවට ශ්‍රේණි ලකුණු සාමාන්‍යයක් (GPA) ලබා දීමට ද යෝජනා වී තිබේ.
විෂයයන් මොනවා ද?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අගැයීම් කෙරෙන විෂයයන් ගණන 7ක් වනු ඇත.
ඉන් ප්‍රධාන විෂයයන් 5ක් අනිවාර්යයෙන් අධ්‍යයනය කළ යුතු වේ. එම විෂයයන් වන්නේ, ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාව යි.
ඊට අමතරව, තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වෙයි.
එම විෂයයන් කාණ්ඩ කිහිපයකට බෙදා තිබේ.
ඒ අනුව, තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන විෂය කාණ්ඩ යටතේ විෂයයන් රැසක් අතරින් දෙකක් තෝරාගත හැකි බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
‘විෂයයන් ගණන 7ක් කිරීම දරුවන්ට හොඳ යි’
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂයයන් 7 දක්වා සාමාන්‍ය පෙළ විෂය ධාරාව අඩු කිරීම යහපත් පියවරක් බව දෙමාපියන් මෙන් ම ගුරුවරු ද පවසති.
“මේ විෂයයන් අඩු කිරීම දරුවන්ට හොඳ යි. ඒකෙන් දරුවන්ට විෂයයන් 9ක් ඉගෙන ගන්න එකෙන් ඇති වන මානසික පීඩනය අඩු වෙනවා. ඒ වගේ ම, පාසල් බෑග් එකේ බරත් අඩු වේවි,” ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.
මේ අතර, මේ වන විට 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පානදුර ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු පැවසුවේ, විෂයයන් 7කට අඩු වීම ගැන සතුටු වන බව ය.
“මට අමාරු ම විෂයක් තමයි, ඉතිහාසය. ඒකේ පාඩම් කරන්න ගොඩක් තියෙනවා. ඉතින් මට ඉතිහාසය වගේ විෂයක් වෙනුවට වෙනත් විෂයක් තෝර ගන්න පුළුවන් නම් ලොකු සහනයක්.”
මේ අතර, ගම්පහ ප්‍රදේශයේ පාසල් සිසුවියකගේ මවක පැවසුවේ, විෂයයන් ගණන 7 දක්වා අඩු වීම පිළිබඳව සතුටු වන බව ය.
‘කාලපරිච්ඡේදයක් විනාඩි 50ක් කිරීම සුදුසු නෑ’
කෙසේ වෙතත්, පාසල් කාලපරිච්ඡේදයක කාලය විනාඩි 50ක් දක්වා වැඩි කිරීම නුසුදුසු ක්‍රියාවක් බව ගාල්ල ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් බීබීසී සිංහල සේවයට පැවසීය.
“දැනට තියෙන විනාඩි හතලිහෙත් ළමයි තියාගෙන ඉන්නෙ ගොඩක් අමාරුවෙන්. විනාඩි 40ක් පැන්න ගමන් ළමයි නොසන්සුන් වෙනවා. එතකොට හරි අමාරු යි උගන්වන්න. ගුරුවරියක් විදිහට මට නම් ඒක හොඳයි උගන්වන්න තව විනාඩි 10ක් වැඩිපුර ලැබෙන නිසා. ඒත් දරුවන්ට ඒ කාලය වැඩි යි.”
‘ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මට්ටමට තිබිය යුතු යි’
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන ලද්දේ, පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ සමයේ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
“මේක අලුත් පියවරක් නෙවෙයි. මීට අවුරුදු කීපයකට කලින් සුසිල් ප්‍රේම්ජයන්තගේ කාලෙ තමයි පටන් ගත්තෙ. මේක පාසල් 110ක් තෝරගෙන නියමු ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක වුණා. ඒක එක එක හේතු නිසා කල් ගියා.”
ඔහු පවසන්නේ, මෙම ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මට්ටමකින් සිදු කළ යුතු බව ය.
“ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක තමයි මේ වෙනස කරන්න හදන්නේ. ඒත් අපට පේන විදිහට මේ වගේ දේකට ජාතික අධ්‍යාපන ආයතනයට තියෙන ධාරිතාව මදි. මේ වෙනස කරනවාට අපි කැමති යි. හැබැයි, ඒක කරන්න ඕන ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව යි. නැත්නම් මේ වෙනස්කම් කළාට දරුවන්ට වැඩක් වෙන්නෙ නෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart