July 8, 2025

තම ජීවිතයේ සිදු වූ ලොකුම වැරැද්දක් නම්, මීට වසර 15කට පෙර පක්ෂ දේශපාලනයට සම්බන්ධ වී මාතර දිස්ත්‍රික්කයෙන් මහජන තනතුරකට තරඟ කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.

56 හැවිරිදි ඔහු ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්‍රීඩකයන් සැමවිටම දේශපාලනයෙන් වැළකී සිටිය යුතු බවයි.

එවැනි පියවර නිසා රසිකයන් බෙදී යන බවත්, ඒ වෙනුවට ඔවුන් ක්‍රීඩාවට පක්ෂපාතීව සිටිය යුතු බවත්, ඔවුන් තෝරාගත් වෘත්තියෙන් රටට සේවය කිරීමට බලාපොරොත්තු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

‘‘දේශපාලනය කිසි විටෙකත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හෝ ඕනෑම ක්‍රීඩකයකුගේ තෝරාගත් වෘත්තිය නොවිය යුතු බව මම තරයේ විශ්වාස කරනවා,’’ 2015 දී දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවත් වූ සනත් මෑතකදී වාර්තාකරුවන්ට පැවසීය.

‘‘මේ කාරණය සම්බන්ධයෙන් අන් අයට කුමක් කිව හැකිදැයි මම දන්නේ නැහැ. නමුත්, දැන් ආපසු හැරී බලන විට, මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ වසර ගණනාවකට පෙර දේශපාලනයට පිවිසීමෙන් මම මගේ ජීවිතයේ බරපතළ වැරැද්දක් කළ බව. හැමෝම ක්‍රීඩාවට ආදරෙයි. ඒ අතින්, මුළු රටම ආදරය කරන ක්‍රීඩකයෙක් දේශපාලන ලෝකයට පිවිසුනහොත්, රසිකයන් බෙදී යනවා. ඒ නිසා මම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩාව රස විඳිය යුතු බවයි. දැන් මට දේශපාලනය කියන වචනය ගැන කතා කරන්නවත් අවශ්‍ය නැහැ, මම එය එතරම් හෙළා දකිනවා.’’ යනුවෙන් ඔහු පැවසීය.

ඔහුගේ කෙටි දේශපාලන ජීවිතය තුළ, සනත් එවක මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ පළාත් පාලන හා ග්‍රාමීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් සේවය කළේය.

ජයසූරියගේ නායකත්වය යටතේ, ශ්‍රී ලංකාව එක්දින අන්තර්ජාතික තරඟවලදී ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කර ගෙන ඇති අතර, පසුගිය වසරේ ජූලි මාසයේදී ඔහු තාවකාලිකව තනතුර භාරගත් විට නවවැනි ස්ථානයට පසුබා සිටි කණ්ඩායම දැන් තුන්වැනි ස්ථානයේ සිටී.

2024 ඔක්තෝබර් මාසයේදී සනත් 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය අවසන් වන තෙක් ශ්‍රී ලංකාවේ පූර්ණ කාලීන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කරන ලදී.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉහළට යෑමට ඇති අවස්ථා පිළිබඳ ජයසූරිය ශුභවාදී අදහස් පළ කරයි.

‘‘අපි සිටි ස්ථානය සළකා බලන විට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට එන්න අපට විශාල අභියෝගයක් තිබුණා. ඒ වන විට, අපි ICC චැම්පියන්ස් කුසලානයට පවා සුදුසුකම් ලබා තිබුණේ නැහැ. නමුත්, අපි කෙසේ හෝ ආපසු පැමිණ තිබෙනවා, මේ පුනරාගමනයේ වැඩි ගෞරවය චරිත් (අසලංක) වෙත යා යුතුයි. කෙසේවෙතත්, අපට ලෝකයම පරාජය කළ හැකි කණ්ඩායම වීමට පෙර තවමත් බොහෝ දුර යා යුතුයි, මෙම කණ්ඩායමට කවදා හෝ ඒ සඳහා හැකියාවක් ඇති බව මට විශ්වාසයි.’’ යනුවෙන් ඔහු සඳහන් කළේය.