July 3, 2025

‘ටීචර් අම්මා’ ලෙස ප්‍රකට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව උපකාරක ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියට සම්බන්ධ සිද්ධියකින් පසු කටාන පොලිසිය විසින් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් බව පවසමින් තරුණයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

අදාළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජනවාරි 28 දින නියම කර ඇත.

අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිෂිකා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් කළ පැමිණිල්ලකට අනුවය.

කටාන ප්‍රදේශයේ පිහිටි ගුරුවරියගේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණික නිලධාරියකු ලෙස සේවය කළ එම තරුණයා සිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කටාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් කිහිපදෙනෙකු නම්කර ඇත.

මෙම නඩුව අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනුකිරීමට කල් ඉල්ලා සිටියාය.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි.

එම ඉල්ලීම් දෙකම පිළිගත් විනිසුරු මඩුල්ල නඩුව වැඩිදුර විභාගයට ගැනීම සහ කරුණු තහවුරු කිරීම ජනවාරි 28 වැනිදාට නියම කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කරමින් අදාළ තරුණයා පවසා ඇත්තේ, තමන් හයේෂිකා ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ තාක්ෂණික නිලධාරියකු ලෙස සේවය කළ බවයි.

2025 මැයි මස 06 වැනි දින තරුණ ශිෂ්‍යාවකට පරිගණක පුහුණුව ලබාදෙමින් සිටියදී එම ගුරුවරිය ඇතුළු පිරිසක් පැමිණ තමාගෙන් ෆේස්බුක් හි පළකර තිබූ සටහනක් පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් පසු පහරදුන් බවට ද ඔහු චෝදනා කර තිබේ.

එමෙන්ම අදාළ ශිෂ්‍යාවට ලිංගික අතවර කළ බවට එම ගුරුවරිය තමාට අසත්‍ය චෝදනාවක් එල්ල කර දැරියගේ දෙමාපියන්ට ඒ බව දන්වා යැවූ බවට ද පෙත්සම්කරු වැඩිදුරටත් චෝදනා කරයි.

පහරදීම හේතුවෙන් රෝහල්ගතව සිටියද හයේෂිකා ප්‍රනාන්දුගේ පැමිණිල්ලට අනුව මැයි 14 වැනිදා කටාන පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගත් බව ද ඔහු පවසයි.

තමන්ව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් නොකර පැය 48කට වැඩි කාලයක් අත්අඩංගුවේ තබාගෙන සිටියේ තම අයිතිවාසිකම් කඩකරමින් බවද ඔහු තර්ක කරයි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සහ පසුව රඳවා තබාගැනීම නීතිවිරෝධී බවත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එසේම සිදුව ඇතැයි කියන අයිතීන් කඩකිරීම් සම්බන්ධයෙන් නිසි වන්දියක් ලබාදෙන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.(daderana.lk)