July 3, 2025

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරට අපරාධ අධිකරණය විසින් මාස හයක සිරදඬුවමක් පනවා තිබේ.

ඒ ඇයට එරෙහිව එල්ල වී තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

ඇයගේ පාලනයට එරෙහිව ආරම්භ වූ පුළුල් විරෝධතා මාලාවක් හමුවේ රටින් පළාගිය හසීනා, ඉන්දියාවේ රැඳීසිටි අතර එතැන් පටන් ඇයට එරෙහිව බංග්ලාදේශය තුළ නඩු කිහිපයක් විභාග වෙමින් පවතී.

එහෙත් ඇයට එරෙහිව දඬුවම් ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව මෙයයි.

හසීනාගේ නායකත්වයෙන් යුතු අවාමි ලීගය පක්ෂයේ තහනමට ලක්ව තිබෙන ශිෂ්‍ය අංශය වන Chhatra League හි නායකයකු වන ශකීල් බුල්බුල්ට ද එම නඩුවේ දී මාස දෙකක සිරදඬුවමක් නියම වූ බව ප්‍රධාන අභිචෝදක මුහම්මද් තාජුල් වාර්තාකරුවන්ට පැවසීය.

හසීනාට එරෙහිව එල්ල වී ඇති මෙම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව පැනනගින්නේ “මට එරෙහිව නඩු 227 ක් ඇත, එබැවින් මට දැන් පුද්ගලයින් 227 ක් ඝාතනය කිරීමට බලපත්‍රයක් තිබේ” යැයි හසීනා පැවසු බව කියනු ලැබූ දුරකථන පටිගත කිරීමක් ප්‍රසිද්ධියට පත්වීමත් සමගය.

රජයේ විමර්ශන ආයතනයක අධිකරණ වෛද්‍ය වාර්තාවක් පසුව හඬපටයේ සත්‍යතාව තහවුරු කර ඇතැයි ද පැවසේ.