June 30, 2025

ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොකොට්ඨාශයේ 473 ‘මුස්නව’ ග්‍රාම නිළදාරි වසමේ ‘ආචිරියාගම’ නැමැති ගම්මානයේ වසර දහයක පමණ වූ පදිංචිකරුවන් සදහා ඉඩම් බලපත්‍ර ලබා දී නොමැති අතර , බලපත්‍ර ලබාදීම සදහා ප්‍රාදේශීය ලේකම්වරයා එම ප්‍රදේශය පිළිබදව සොයා බැලීමක් පසු ගිය දිනක සිදුකර තිබේ.

පසුව එම ප්‍රදේශය භාර ග්‍රාමනිළධාරීවරයා මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දී ඇත්තේ එම ඉඩම් තුල පුරාවිද්‍යා වටිනාකමක් ඇති නටඹුන් ලෙස සැකකෙරෙන එක් එක් ප්‍රමාණයේ පාෂාණ කොටස් විසිරී ඇති බවයි.

අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා මේ පිළිබදව, ඉඩම් පරීක්ෂාකර බලා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවට අනුමැතියක් ලබාදෙන ලෙසට පුරාවිද්‍ය දෙපාර්තුමේන්තුව වෙත ලිඛිතව දන්වා ඇත.

ඉන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණ මෙම ඉඩම් පරීක්ෂා කර බලා ඇතිඅතර එහිදී අනාවරණය වී ඇත්තේ, එම ප්‍රදේශයේ අක්කර 10කට ආසන්න පාරාසයක තුළ වූ ඉඩම් 14ක පමණ ඉතා පුරවිද්‍යා වටිනාකමක් සහිත ‘මෙගලිතික සුසාන’ ලක්ෂන ඇති බවයි.

ඒ හේතුවෙන් පුරාවස්තු ආඥාපනතට අනුව පුරාවිද්‍යා නටබුන්වල අයිතිය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සතු බැවින් එවා පිහිටා ඇති, දැනට අනවසර වගාකරුවන් අත්පත්කරෙන ඇති එම භූමි පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, එම ඉඩම් සතු පුද්ගයන් වගා කටයුතු සිදු කරණ භූමිවල නැවත වගාකිරීම අත්හිටුවන ලෙසටත්, එම ඉඩම් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට මැන වෙන්කර ගැනීම සදහා මැනුම් ඉල්ලුම් නිකුත් කරන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයාට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් දන්වා තිබේ.

මෙම සිදුවිමට අදාළ වූ ඉඩම්වල පොල්, අඹ වැනි ස්ථිර බෝග හා ඉදිකිරීම්ද බොහොමයක් මේ වන විට පවති.

මේ සම්බන්ධයෙන් ඉඩම් හා වාරිමාර්ග මහවැලි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගෙන් විමසීමක් කල අතර එහිදී අමාත්‍ය වරයා කියා සිටියේ , මෙම සොයාගත් “මෙගලිතික සුසාන” පුරාවිද්‍යා වශයෙන් ඉතා වැදගත් වන බවත් මෙම ප්‍රදේශය අවුකන පුදබිමට ආසාන්නයේ පැවතිමත් නිසාවෙන් මෙම ප්‍රදේශය සංචාරක කර්මාන්තය සදහා භාවිතා කිරීමට සුදුසු බවයි. එසේම එම ඉඩම් සම්බන්ධයෙන් ගොවියන්ට හා එම ජනතාවට හානියක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවත්, පුරාවිද්‍යා දෙපාර්තුමේතුවත් එම ගොවින් හා ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරීන් සමග සාකච්ඡා කර විසදුමකට පැමි‍ණෙන බවයි.