June 27, 2025

තම නිවෙසට යාබද නිවෙසේ ජීවත්වූ පෙර පාසල් වියේ පසුවූ කුඩා දැරියක ඇගේ මවුපිය වැඩිහිටියන් නිවෙසේ නොමැති අවස්ථාවලදී තම නිවෙසට කැඳවාගෙන විත් වරින්වර පුරා මාස දෙකක පමණ කාලයක් තිස්සේ බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 68 හැවිරිදි දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා බරපතළ වැඩසහිත වසර 60ක සිරදඬුවම් නියම කළේය.

විත්තිකරු එකී චෝදනා තුනටම වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇතැයි දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිගමනය කළ විනිසුරුවරයා, එක් චෝදනාවකට වසර 20 බැගින් බරපතළ සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම් කාලය එනම් වසර 60 වෙන් වෙන්ව ගෙවීයන පරිදි ලබාදීමටද නියෝග කළේය.

එයට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් හා වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවිය යුතු බවටද නියෝග කළ විනිසුරුවරයා එකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් අමතර වසර දෙකක ලිහිල් සිර දඬුවම් ලබාදීමටද නියෝග කළේය.

එවකට 55 හැවිරිදි වියේ පසුවූ තැනැත්තකු වන විත්තිකරු එකී දැරියගේ සමීප ඥාතියකු (බාප්පා) බවත් වැඩිහිටි දියණියන් දෙදෙනකුගේ පියකු වන ඔහු මෙකී ළාබාල දැරියට සිදුකළ එකී අපරාධය තම අධිකරණය පමණක් නොව, කිසිදු මනුෂ්‍යයකු අනුමත නොකරන මිනිස්කමට නිගාකරන අපරාධයක් වන බැවින් නීතිය අනුව ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට තම අධිකරණය කිසිසේත්ම නොපැකිළෙන බව විනිසුරු ආර්. එස්. එස්. සපුවිද එකී තීන්දුව නිකුත් කරමින් පෙන්වාදුන්නේය.

සිය නිවෙසේ හා දැරියගේ නිවෙසේ කිසිවකුත් නොමැති අවස්ථාවලදී එම දැරියව සිය නිවෙසට කැඳවාගෙන ගොස් ජිල් බෝල ලබාදෙන බව පවසා, එකී අපරාධය සිදුකර තිබූ විත්තිකරු ඒ බව ඇගේ මවට හෝ අන් කිසිවකුට පැවසුවහොත් ඒ ආකාරයෙන් තව තවත් සිදුකරන බවට තර්ජනය කොට දිගින් දිගටම එම අපරාධය සිදුකර ඇති බවත්, විත්තිකරු සිය නිවෙසට පැමිණෙන අවස්ථාවලදී දැරිය බියපත් වී ඇඳන් යට හා දොරට මුවාවී සැඟවී සිටීමට පෙළඹීම හා “අනේ අම්මේ ෂෙල්ටන් බාප්පට අපේ ගෙදරට එන්න දෙන්න එපා” යැයි සිය මවට පවසා තිබූ බව පැමිණිල්ලේ සාක්ෂි මඟින් අනාවරණය වී තිබිණි.