
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාර රටේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොකළ බවත් එමගින් එම වැඩසටහන මාස ගණනකින් පමණක් පසුබෑමට ලක් විය හැකි බවත් ප්‍රහාරය පිළිබඳ පෙන්ටගනයේ බුද්ධි අංශ තක්සේරුවකින් අනාවරණ වී තිබේ.
සෙනසුරාදා එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරවලදී ඉස්ලාමීය ජනරජයේ යුරේනියම් තොගය විනාශ නොකළ බව ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ඇගයීම ගැන තතුදත් මූලාශ්‍ර සීබීඑස් පුවත්සේවයට පවසා ඇත.
ධවල මන්දිරය පැවසුවේ එම වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදි තක්සේරුවක් මත බුද්ධි ප්‍රජාවේ පහළ මට්ටමේ ‘පරාජිතයකු’ විසින් නිකුත් කරන ලද බවයි.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ප්‍රකාශ කළ අතර මෙය ඉතිහාසයේ වඩාත්ම සාර්ථක මිලිටරි ප්‍රහාරවලින් එකක් පහත් කිරීමට ගත් උත්සාහයක් ලෙස මාධ්‍යයට චෝදනා කළේය.
එක්සත් ජනපදය ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් පුපුරා යෑමට සමත් මීටර් 18 කොන්ක්‍රීට් හෝ මීටර් 61 පොළොවට විනිවිද යා හැකි ‘බංකර් බස්ටර්’ බෝම්බ යොදා ගනිමින් ප්‍රහාරය දියත් කර තිබිණි.
නමුත් පෙන්ටගනයේ බුද්ධි තක්සේරුව ගැන හුරුපුරුදු මූලාශ්‍ර පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික බලය බොහෝ දුරට නොනැසී පවතින අතර බලපෑම භූගත ව්‍යුහයන්ට සීමා වූ බවයි.
න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට පිවිසුම් වසා දමා ඇති අතර, සමහර යටිතල පහසුකම් විනාශ වී හෝ හානි වී ඇති නමුත්, භූගතව ගැඹුරට පිහිටා ඇති බොහෝ පහසුකම් පිපිරීම්වලින් බේරී ඇති බව වාර්තා වේ.
නිර්නාමික මූලාශ්‍ර එක්සත් ජනපද මාධ්‍යයට පැවසුවේ ප්‍රහාරය ඉරානය මාස කිහිපයක් පසුපසට ඇද දැමූ බවත්, එහි න්‍යෂ්ටික වැඩසටහන නැවත ආරම්භ කිරීම රට කැණීම් කර අලුත්වැඩියා කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න මත පදනම් විය හැකි බවත්ය.
බුද්ධි තක්සේරුවට අනුව, ප්‍රහාරවලට පෙර ඉරානය යුරේනියම් තොගයෙන් කොටසක් ගෙන ගිය බව මූලාශ්‍ර සීබීඑස් වෙත තහවුරු කළේය.
එක්සත් ජනපදයේ කිලෝග්‍රෑම් 14,000ක් බරැති දැවැන්ත යුධෝපකරණ විනිවිදක බෝම්බය ඉරානයේ භූගත මධ්‍යස්ථාන විනාශ කළ හැකි එකම අවිය ලෙස සැළකේ.
එහි න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා බව ටෙහ්රානය සැමවිටම කියා සිටියේය.
සෙනසුරාදා ප්‍රහාරවලින් පසු පැය කිහිපය තුළ, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් වාර්තාකරුවන්ට පැවසුවේ මධ්‍යස්ථානවලට සිදු වූ හානිය තක්සේරු කිරීමට කාලය ගතවන බවයි.
නමුත් ස්ථාන තුනටම අතිශයින් දරුණු හානියක් සහ විනාශයක් සිදුවී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
ෆෝඩෝ න්‍යෂ්ටික ස්ථානවල පිවිසුම් ස්ථාන දෙකක් වටා නැවුම් ආවාට හයක් මෙන්ම අළු දූවිලි හා සුන්බුන් ද චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කෙරිණි.
කෙසේවෙතත්, මතුපිටට පහළින් ස්ථානවලට කොපමණ හානියක් සිදුවී ඇත්ද යන්න රූපවලින් පැහැදිලි නැත.
ඉරානයේ නියෝජ්‍ය දේශපාලන අධ්‍යක්ෂ හසන් අබෙදිනි කියා සිටියේ එක්සත් ජනපදය ඉලක්ක කරගත් ස්ථාන තුන මීට ටික කලකට පෙර ඉවත් කර ඇති බවත්, ඉරානය න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉවත් කර තිබු නිසා විශාල පහරක් එල්ල නොවූ බවත්ය.
ට්‍රම්ප් පරිපාලනය ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට නොපැහැදිලි වචන භාවිත කළ බවත් බෝම්බ හෙලීමේ මෙහෙයුමෙන් ඉටු වූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බවත් එක්සත් ජනපද විදේශ කටයුතු කමිටුවේ ඩිමොක්‍රටික් සාමාජිකයකු වන එක්සත් ජනපද කොන්ග්‍රස් සභික බ්‍රැඩ් ෂර්මන් පැවසුවේය.
“වැඩසටහන මකා දැම්මා යැයි ඔවුන් පවසන විට, එය කේන්ද්‍රාපසාරී සහ අනාගතයේදී යුරේනියම් නිර්මාණය කිරීමේ හැකියාව විනාශ කළාද නැතහොත් එය තොගය විනාශ කළා ද යන්න පවා ඔවුන් කියන්නේ නැහැ,” ෂර්මන් බීබීසීයට පැවසීය.
ඉරානය සමඟ සතුරුකම් ජුනි 13 වැනි දින ආරම්භ වූ දා සිට, ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් මැඩපැවැත්වීමට මෙන්ම එහි මිසයිල අවි ගබඩාව විනාශ කිරීමට ද සමත් වී ඇති බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු අඟහරුවාදා පැවසීය.
“අපි අපට ඇති ක්ෂණික තර්ජන දෙකක් ඉවත් කර තිබෙනවා, න්‍යෂ්ටික සමූලඝාතන තර්ජනය සහ බැලිස්ටික් මිසයිල 20,000කින් සමූලඝාතන තර්ජනය එම තර්ජන දෙකයි,” නෙතන්යාහු ඔහුගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද වීඩියෝ ප්‍රකාශවල පැවසීය.
නම් නොකළ ඊශ්‍රායල මූලාශ්‍රයක් උපුටා දක්වමින් සෞදි ප්‍රවෘත්ති ආයතනයක් වන අල් හදත් හි වාර්තාවක සඳහන් වූයේ ඉරානයේ යුරේනියම් බොහොමයක් සුන්බුන් යට වැළලී ඇති බව ඊශ්‍රායලය විශ්වාස කරන බවයි.
එක්සත් ජනපදයට බුද්ධි අංශ 18ක් ඇති අතර, ඒවා සමහර විට ඔවුන්ගේ මෙහෙවර සහ ප්‍රදේශ විශේෂඥතාව මත පදනම්ව පරස්පර වාර්තා නිෂ්පාදනය කරයි.
උදාහරණයක් ලෙස, කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ අමෙරිකානු බුද්ධි ප්‍රජාව තවමත් එකඟ නොවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart