June 20, 2025

මෙරට ෆෝම් මෙට්ට නිෂ්පාදන කම්හලක ආයෝජනය කළ සිංගප්පූරු සමාගමක් ආයෝජන මණ්ඩලයට සිය මෙහෙයුම්වලට බාධාකරන බවට චෝදනා කරමින් එහි මෙහෙයුම් වසාදැමීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ පිළිබඳ ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, Honor Global Industries හි නියෝජිතයින් කියා සිටියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 08ක ආයෝජනයකින් ෆෝම් මෙට්ට නිෂ්පාදන කම්හල ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සමාගම 2023 වසරේදී ආයෝජන මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇති බවයි.

මෙම කර්මාන්ත ශාලාව මගින් වාර්ෂිකව ෆෝම් මෙට්ට මිලියන 2.5ක් පමණ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර විවිධ රටවලට අපනයනය කිරීමට අවසර ඉල්ලා ඇති බව ද ඔවුහු පැවසූහ.

කෙසේවෙතත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබී ටික කලකට පසු, එක්සත් ජනපදයට වසරකට අපනයනය කෙරෙන මෙට්ට 50,000 කට සීමාකරන බව ආයෝජන මණ්ඩලය ලිඛිතව දන්වා ඇති බව නියෝජිතයෝ පැවසූහ.

ඒ හමුවේ, එවැනි මෙට්ට සංඛ්‍යාවක් සඳහා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යෑමට නොහැකි බවත්, ආයෝජන මණ්ඩලයත්, මුදල් මණ්ඩලයත් මේ ප්‍රශ්නය මාස හයක කාලය පුරා කල්මරමින් සිටින බවත්, එවැනි ගැටලු හේතුවෙන් සේවකයන් 500කට ආසන්න පිරිසකට රැකියා අහිමි වන බවත් එම නියෝජිතයෝ පෙන්වාදෙති.

සමාගමට මසකට ඩොලර් ලක්ෂ 3ක පාඩුවක් සිදුවන පසුබිමක් මාස 06ක පමණ කාලයක සිට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නතර කර ඇති බව ද ඔවුහු පැවසූහ.

එමෙන්ම ඔවුන් පවසන්නේ, මෙහෙයුම් සහ අපනයන අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව සහ එය කළ නොහැකි නම්, මෙහෙයුම් වසාදැමීමට නීතිමය මාර්ගයක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටින බවයි.

ආයෝජන මණ්ඩලය සහ මුදල් මණ්ඩලය අසාධාරණ ඉල්ලීම් කරමින් ආයෝජකයන් පළවාහරින බවට චෝදනා කළ ඔවුහු, කර්මාන්තශාලාව පවත්වාගෙන යෑම සඳහා අදාළ නිර්දේශ ජනාධිපති කාර්යාලය විසින් එවා තිබියදීත්, ආයෝජන මණ්ඩලය ඒ පිළිබඳව අවධානය යොමුකිරීම ප්‍රතික්ෂේප කර ඇති බවට ද චෝදනා කරති.