June 9, 2025

ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, පසුගිය පැය 24 තුළ නව රෝගීන් 378ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ ක්‍රියාකාරී කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6,133 දක්වා ඉහළ ගොස් තිබේ.

එම කාලසීමාව තුළ අවම වශයෙන් මරණ 06ක්ද වාර්තා විය.

එයින් කේරළයෙන් මරණ 03ක්ද, කර්ණාටකයෙන් මරණ් 02ක්ද සහ තමිල්නාඩුවෙන් 01 මරණයක්ද වාර්තා වී ඇත.

මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් වයෝවෘද්ධ අය වූ අතර, ඊට දියවැඩියාව, තයිරොයිඩ් සහ ශ්වසන රෝග වැනි රෝගී තත්වයේ පසුවූවන් ඇතුළත් බව පැවැසේ.

කොවිඩ් උප් ප්‍රභේදයන් වන LF.7, XFG, JN.1 සහ මෑතකදී හඳුනාගත් NB.1.8.1 උප ප්‍රභේදය ඇතුළු නව ප්‍රභේද හේතුවෙන් ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ නව වැඩිවීමක් දක්නට ලැබේ.

පසුගිය මැයි 22 දින සිට ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව 257 සිට 6,000 දක්වා ඉහළ ගොස් තිබේ.

කේරළයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, ඉන්පසුව නවදිල්ලි, බටහිර බෙංගාලය සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයන් වලින්ද රෝගීන් වාර්තා වේ.

ඔක්සිජන් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබාගැනීම සහතික කරන ලෙස ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශවලට උපදෙස් දී තිබේ.

කොවිඩ් රෝග ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙන්, ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්ත මට්ටමින් සූදානමින් සහ සුපරීක්ෂාකාරී බවින් සිටින ලෙස ඉල්ලා උපදේශන නිකුත් කර ඇත.

උණ සහ තෙහෙට්ටුව එහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, කොවිඩ් සහ අනෙකුත් වෛරස් උණ අතර වෙනස හඳුනාගැනීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කර ඇත.