June 8, 2025

සීමා නිර්ණය පිළිබඳ මතභේදාත්මක කරුණු වැනි නොවිසඳුනු නීතිමය සහ තාක්ෂණික ගැටලු හේතුවෙන් 2025 දී පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජය ප්‍රතික්ෂේප කර තිබේ.

පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් තහවුරු කළේ මෙම අභියෝග ප්‍රමාණවත් ලෙස විසඳා පළාත් පාලන නීතිමය රාමුව ස්ථාවර කරන තුරු මැතිවරණ නොපැවැත්වෙනු ඇති බවයි.

“ඔවුන් සීමා නිර්ණ වාර්තාවක් ගෙනැවිත්, එය සභාගත කළා, පසුව ඔවුන්ම එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඔවුන් එය සම්පූර්ණ විහිළුවක් බවට පත් කළා,” හිටපු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නිර්ණ වාර්තාවක් සභාගත කළ විට ඇති වූ කැළඹීම ගැන සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය සෙනරත් පැවසීය.

“එය සීමා නිර්ණ ක්‍රමයේ සැළකිව යුතු අඩුපාඩු පෙන්නුම් කරනවා,” යැයි ඔහු පැවසීය.

මෙම අසාර්ථකත්වය හමුවේ, රජය දැන් පැරණි මැතිවරණ ක්‍රමයට ආපසු යාම සහ පළාත් සභා සඳහා සීමා නිර්ණය කිරීම සළකා බලමින් සිටී.

කෙසේවෙතත්, මැතිවරණය පැවැත්වෙන්නේ පළාත් පාලන ව්‍යුහය ශක්තිමත් කර බිම් මට්ටමේ මහජන සේවාවන් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා බලගැන්වූ පසු පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය සෙනරත් අවධාරණය කළේය.

“සාමාන්‍යයෙන් ජනතාව ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් වැනි ප්‍රාදේශීයකරණය කරන ලද නියෝජිතයන් සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වීමට නැඹුරු වෙනවා. ජනතාවට වඩා හොඳ ප්‍රවේශයක් සහ වැඩි බලයක් ලබා ගැනීම සඳහා පළාත් පාලන ආයතන තවදුරටත් බල ගැන්වීමට අපට අවශ්‍යයි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

“මෙම යාන්ත්‍රණය නිසි ලෙස සකස් කිරීමෙන් පසුව පමණක් අපි පළාත් සභා කෙරෙහි අපගේ අවධානය යොමු කරනවා,” යැයි ඔහු තවදුරටත් පැවසීය.

විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්ෂණික මැතිවරණවලට වඩා යටිතල පහසුකම් සහ සංවර්ධනයට ප්‍රමුඛත්වය දීමේ පුළුල් උපාය මාර්ගයක් ද නියෝජ්‍ය අමාත්‍ය සෙනරත් ගෙනහැර දැක්වීය.

මෙම මුලපිරීම් මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ඉලක්කගත සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම සඳහා ඉන්දියාව සමඟ සහයෝගී උත්සාහයක පියවරකි.

“අපි උතුරු සහ නැගෙනහිර අපගේ සංවර්ධන කටයුතු බොහොමයක් කිරීමට සැලසුම් කර තිබෙනවා. අගෝස්තු මාසයේදී ව්‍යාපෘතිය ආරම්භ වන තුරු තවත් අරමුදල් ලබා නොදෙන ලෙස අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි මාස හය සංවර්ධන කටයුතු සඳහා කැප කිරීමට නියමිත බැවින්, මෙම අවස්ථාවේදී අපට මැතිවරණයක් සඳහා යා නොහැකියි,” යනුවෙන් ඔහු පැවසීය.

2026 ජනවාරි මාසයේදී පළාත් සභා මැතිවරණය පිළිබඳ ප්‍රශ්නය නැවත සළකා බැලීමට රජය අපේක්ෂා කරයි.

ඒ වන විට, නීතිමය, පරිපාලනමය සහ සීමා නිර්ණයට අදාළ අඩුපාඩු විසඳනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඊළඟ වසරේ මැතිවරණය සඳහා මග සැලසෙනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සෙනරත් පැවසීය.

“ලබන වසරේ පළාත් සභා මැතිවරණයට යෑමට පෙර නීතියේ ඇති මෙම සියලු ගැටලු නිවැරදි කර ඇති බව අපට සහතික කිරීමට අවශ්‍ය යි. මූලික සාකච්ඡා ආරම්භ වී තිබෙනවා, නමුත් මැතිවරණය පැවැත්වීමට පෙර විසඳා ගත යුතු තවත් බොහෝ කරුණු තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.