June 4, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුගේ සිය ධුර කාලය තුළ බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව ඉදිරියේ අඛණ්ඩව තුන්වැනි දිනටත් පෙනීසිට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් මෙම නඩු විභාගයේදී තියුණු අදහස් හුවමාරුවක් සිදුවූ අතර, ජනමාධ්‍ය එය වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම බරපතල චෝදනා එල්ල විය.

දේශබන්දු වෙනුවෙන් නීතිඥ සංජීව වීරවික්‍රම පෙනීසිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පෙනීසිට ඇත.

සැසිවාරය අතරතුර, ඇතැම් ජනමාධ්‍ය ආයතන ඔහුගේ පෙර සාක්ෂි විකෘති කර ඇති බව පවසමින් දේශබන්ධු තෙන්නකෝන් සිය කනස්සල්ල පළකර ඇත.

“පොලිස් නිලධාරීන් ‘හරක් කටා’ට බිය වන බව මා පැවසූ බවට ඇතැම් ජනමාධ්‍ය ආයතන වාර්තා කර තිබෙනවා. මම කිසිවිටෙකත් එවැනි ප්‍රකාශයක් සිදුකර නැහැ. මෙය මට අතිශයින්ම අසාධාරණයි. එය වගකීමෙන් සේවය කරන නිලධාරීන්ගේ කීර්තිනාමයට කැළලක් වගේම අනවශ්‍ය ගැටළු ඇති කරනවා” යනුවෙන් දේශබන්දු පවසා ඇත.

එහිදී පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන තුළ දූෂණය පවතින බව පිළිගනිමින් විනිසුරුවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

සමහර දූෂිත නිලධාරීන් තවමත් පොලිසිය ඇතුළුව රජයේ සේවයේ යෙදී සිටින බවත්, එවැනි පුද්ගලයින් පිරිසක් මෙම කාරණයට සම්බන්ධ බවත් දේශබන්දු සඳහන් කර ඇත.

ජනමාධ්‍ය ආවරණයට සම්බන්ධ තර්ජන සහ මාතර අධිකරණයේ ඔහුගේ ඉදිරි පෙනීසිටීම උපුටා දක්වමින් දේශබන්ධු තෙන්නකෝන් සිය පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ එහිදී වැඩිදුරටත් බිය පළකර ඇත.

“මට රාජ්‍ය ආරක්ෂාවක් නැ. මෙවැනි මාධ්‍ය වාර්තා මගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. මෙම කමිටුවේ රහස්‍යභාවය ආරක්ෂා කරන ලෙස මම ඉල්ලා සිටිනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත්, විනිසුරු, කමිටුවේ සීමාවන් පිළිබඳව පැහැදිලි කර ඇති අතර, එවැනි තර්ජන මෙම කමිටුවේ විෂයපථයට අයත් නොවන බවත්, ජනමාධ්‍යවේදීන් ප්‍රවේශමෙන් ක්‍රියා කළයුතු බවත්, පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ කාරණා සම්බන්ධයෙන් කමිටුවට මැදිහත් විය නොහැකි වීම නිසා, මෙම ක්‍රියා රහසිගත නොවන අතර, ඒ හේතුවෙන් ජනමාධ්‍ය වාර්තාකරණයට ඉඩ දී ඇති බව විනිසුරුවරයා කමිටුව හමුවේ පැහැදිලි කර ඇත.

දෙපාර්ශවයේම එකඟතාවයෙන් කමිටුවට මූලික සාක්ෂි ඉදිරිපත් කළ අතර, වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණයන්හි ඉතිරි සාක්ෂි ඉදිරිපත් කිරීම ප්‍රමාද කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කර තිබේ.

එළඹෙන 23 සහ 30 යන දිනවල සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කමිටුවට හමුවේ ඉදිරිපත් කිරීමට දෙපාර්ශවයම එකඟ වූ අතර, ඊට අමතරව ජුනි (24) සහ (25) දිනයන්හි ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

සාක්ෂි සමාලෝචනය කිරීම සඳහා නීතිඥ වීරවික්‍රම පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා දින තුනක් ඉල්ලා සිටි අතර, කමිටුව ඊට විරුද්ධ නොවීය.

කමිටුව ජුනි 9, 11 සහ 16 යන දිනවල නැවත රැස්වීමට නියමිත අතර, 16 වැනිදා සිට අඛණ්ඩ සැසිවාරයන් සැලසුම් කර ඇත.