May 23, 2025

‘කුෂ්’ කිලෝග්‍රෑම් 46ක් සමඟ හසුවීමෙන් පසු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බ්‍රිතාන්‍ය තරුණිය තමන් එහිදී මුහුණදුන් අත්දැකීම හෙළිකර තිබේ.

දකුණු ලන්ඩනයේ කෝල්ස්ඩන් හි පදිංචිකාරියක වන 21 හැවිරිදි චාලට් මේ ලී පසුගිය සතියේ සඳුදා කටුනායක දී අත්අඩංගුවට ගන්නා ලදී.

ඇය ගුවන්යානා හිටපු කාර්ය මණ්ඩල සේවිකාවක ද වෙයි.

බැංකොක් සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී බණ්ඩාරනායක ඇය මෙලෙස අත්අඩංගුවට ගැනිණි.

දැනට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ඇය බ්‍රිතාන්‍යයේ MailOnline වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකාව බලා පිටත් වන විට ඇගේ ගමන් මල්ලේ මත්ද්‍රව්‍ය ඇති බවට නොදැන සිටි බවයි.

“මම කලින් දවසේ රෑ බැංකොක්වල හිටියා, මගේ ගුවන් ගමන ගොඩක් උදෙන් තිබුණු නිසා වේලාසනම ඇඳුම් අසුරලා තිබුණා. මම මගේ බෑග් හෝටල් කාමරයේ තියලා රෑ එළියට ගියා. අසුරලා තිබුණු නිසා මම උදේ බෑග් ආයෙත් බැලුවේ නැහැ. එයාලා එතකොට තමයි දාන්න ඇත්තේ. ඒක කළේ කවුද කියලා මම දන්නවා.” යනුවෙන් ඇය පවසා ඇත.

ලී පවසන්නේ ඇය තායිලන්තයේ මත්පැන් සාද පවත්වන නෞකාවක තාවකාලිකව සේවය කරමින් සිටි නමුත් ඇගේ දින 30ක වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට ආසන්නව තිබූ නිසා තායි වීසා අලුත් කරන තෙක් ශ්‍රී ලංකාවට යෑමට තීරණය කළ බවයි.

ඇය පවසන පරිදි ඇගේ ගමන්මල්ලට මත්ද්‍රව්‍ය දැමූ බවට සැකකරන පිරිස ඇයව ශ්‍රී ලංකාවේ දී හමුවන බව පවසා තිබේ.

“ඒත් දැන් මම මෙතන – මේ හිරගෙදර හිරවෙලා.” යනුවෙන් ඇය පවසන්නීය.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු, මුලින් දින හතක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා තබන ලදී.

ඇය පවසන්නේ ඇඳ මකුණන් සහිත සෝෆාවක් මත නිදා ගැනීමට ඇයට එහිදී බල කෙරුණු බවයි.

ආරක්ෂක නිලධාරියකු ඇයව මුළු කාලය පුරාම නිරීක්ෂණය කර ඇත.

ඉන්පසු ඉරිදා ඇයව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එන ලද අතර, වැඩිදුර නඩු විභාගය සිදුකරන තෙක් ඇය දින 14ක් රිමාන්ඩ් භාරයේ තබන ලදී.

“මෙතන හරි දුෂ්කරයි. මට මෙහි මානව හිමිකම් නැහැ කියලයි හිතෙන්නේ. ඇඳන් නැහැ, බ්ලැන්කට් නැහැ. නිදාගන්න තැන දිග කොරිඩෝවක් වගේ, තව ගොඩක් කාන්තාවන් ඉන්නවා. කොට්ටෙ හැටියට මම යොදාගන්නේ මගේ ජම්පරය. සීලිං ෆෑන් එකක් තියෙනවා, නමුත් ඒක ඇත්තටම වැඩ කරන්නේ නැහැ, ටීවී එකක් තියෙනවා, ඒකත් යන්තම් වැඩ කරන්නේ. මට තියෙන්නේ මේ ඇඳුම් දෙකයි, මාරු කරන්න වෙන කිසිම දෙයක් නැහැ, මට මගේ ADHD බෙහෙත් ගන්න අවසර නැහැ. ඔවුන් දෙන එකම දේ නිදි පෙති.” යනුවෙන් ද ඇය පවසා ඇත.

“කෑම මට සැර වැඩි නිසා මම දවස් දෙකකින් කෑවේ නැහැ. මම මගේ නීතිඥවරුන්ට කිව්වා. මට වෙනස් කෑම ඕනේ කියලා. එයාලා ඒක හදන්නම් කියලා කිව්වා, නමුත් තාමත් එහෙම කරලා නැහැ. ඇයි කියලා මම දන්නේ නැහැ. වාසනාවකට වගේ, සමහර ගැහැණු ළමයි ඉංග්‍රීසි කතා කරනවා, මාත් එක්ක බිස්කට් සහ ඒ වගේ දේවල් බෙදාගෙන තියෙනවා, ඒක හොඳයි.” යනුවෙන් ද ඇය පවසා තිබේ.