May 22, 2025

හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් රන් ආලේපිත T56 ගිනිඅවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම දේශපාලනඥයකුට අයත් එකක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇතැයි ‘දිවයින’ වාර්තා කරයි.

එම වාර්තාවට අනුව හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ද වන මෙම දේශපාලනඥයා මීට මාස හයකට උඩදී සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනිඅවිය හැව්ලොක් සිටි පදිංචි කාන්තාවගේ නිවසට යවා ඇත්තේ සඟවා තබන ලෙස උපදෙස් ලබා දෙමින් බව පොලිසිය හෙළිකරගෙන තිබේ.

මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ පදිංචි හැටඅට හැවිරිදි කාන්තාව වෙත ගෙනවිත් බාරදුන් හිටපු ඇමතිවරයාගේ අරක්කැමියා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ සවස අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් තිබිණි.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම හිටපු ඇමතිවරයා හැව්ලොක් සිටි නිවසක පදිංචි හැටඅට හැවිරිදි කාන්තාවගේ සමීපතම මිතුරෙකි.

එම කාන්තාව මෙම අවිය සහිත බෑගය බාරගෙන ඇත්තේ එහි T56 ගිනි අවියක් තිබෙන බව නොදැන බව අනාවරණය වී ඇත.

මෙම බෑගය මාස හයක් තිස්සේ කාන්තාවගේ නිවසේ තිබී ඇති අතර පෙරේදා එම කාන්තාවගේ පුත්‍රයකු විනෝද චාරිකාවක් යෑම සඳහා මෙම බෑගය ගෙන තිබේ.

ඒ අවස්ථාවේ බෑගය සමග ගිනි අවිය කාන්තාව විසින් සිය මෝටර් රථයේ ඩිකියේ දමාගෙන ගොස් ඇත.

මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන් දැක ඇත්තේ ඒ අතරතුරදීය.

පසුව ඔවුන් මේ බව වැල්ලවත්ත පොලිසිය වෙත දැනුම් දී තිබිණි.

පොලිස් නිලධාරීන් පැමිණ අවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් අවියක් නොවන බවත් නවීන පන්නයේ ටී පනස් අය ගිනි අවියක් බවත් හෙළිවී තිබේ.

ඒ අනුව මෙම අවිය සඟවාගෙන සිටි හැටඅට හැවිරිදි කාන්තාව සහ තවත් කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි.

එහිදී කාන්තාව පවසා ඇත්තේ මෙම බෑගය හිටපු ඇමතිවරයාගේ අරක්කැමියකු විසින් තමන්ට භාරදුන් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවැසේ.

උතුරු මැද පළාත නියෝජනය කරන මෙම දේශපාලනඥයාගේ පියා ද ප්‍රබල දේශපාලඥයකු වන අතර ඔහු මේ වන විට ජීවතුන් අතර නැත.

මෙම අවිය කුමන හේතුවක් නිසා මෙසේ සඟවා තැබුවේද, ඒ අවියෙන් කුමන අපරාධයක් සිදුකළේ ද යන්න සොයා පොලිස් විමර්ශන පැවැත්වෙයි.