May 19, 2025

2023 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් 15.1%කට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ගෙන් වැඩි ප්‍රතිශතයකට ප්‍රධාන හෝ ද්විතීයික රැකියා අහිමි වී ඇති බව දෙපාර්තමේන්තුවේ දත්තවලින් පෙන්නුම් කෙරේ.

මේ අතර, මෙම කාලය තුළ රටේ කුටුම්භවලින් 60.5%ක මාසික ආදායමේ අඩුවීමක් අත්විඳ ඇති බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

2023 ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද කුටුම්භ සමීක්ෂණයේ අවසාන වාර්තාවෙන් මෙම හෙළිදරව්වන් අනාවරණ විය.

වාර්තාවට අනුව, කුටුම්භවලින් 91.1%ක් ඔවුන්ගේ සාමාන්‍ය මාසික වියදම්වල වැඩිවීමක් අත්විඳ ඇති අතර කුටුම්භ 5.3%ක වියදම් නොවෙනස්ව පැවතී ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ කුටුම්භවලින් 22%ක් ණය බරින් මිරිකී ඇති අතර ජනගහනයෙන් 7%ක් නිසි සෞඛ්‍ය සේවා ප්‍රතිකාර ලබා නොගත් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව තවදුරටත් අනාවරණය කළේය.