May 18, 2025

විෂමාචාර ක්‍රියා සහ තනතුරේ බලය දැඩිව අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ චෝදනා විමර්ශනය වෙනුවෙන් වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට දිනයේ අදාළ කමිටුව ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

එහිදී චෝදනා 22ක් අඩංගු චෝදනා පත්‍රයක් ඔහුට භාර දීමට නියමිත බව වාර්තා වේ.

හෙට පස්වරු 2ට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස තෙන්නකෝන්ට දැනුම් දී ඇත.

කමිටුව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 8 දී රැස්වීමට නියමිතය.

චෝදනා පත්‍රය භාරදීමෙන් පසුව කමිටුව ඔහුට තමන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය ලබා දෙනු ඇත.

කමිටුව පසුගිය සති කිහිපය තුළ එහි මූලික පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තුවේ රැස්වෙමින් සිටි අතර හෙට සිට තෙන්නකෝන් කැඳවීමත් සමඟ එහි විමර්ශනය ආරම්භ කරනු ඇත.

2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටි) පනතේ 5 වැනි වගන්තිය යටතේ පත් කරන ලද මෙම කමිටුවේ සභාපතිත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දරන අතර හිටපු අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක සෙසු සාමාජිකයෝ වෙති.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිකා පෙරේරා යන පිරිස කමිටුවට සහාය වෙමින් සිටිති.