May 17, 2025

ගල්කිස්ස ප්‍රදේශයේදී ඉකුත් දා 19 හැවිරිදි තරුණයකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 45 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරය එල්ල කළ යතුරුපැදිය පැදවූ පුද්ගලයා එම සැකකරු බවට පොලිසිය විශ්වාස කරන අතර, වෙඩිතැබූ පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

එම තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ඉකුත් මැයි 5 වැනිදා සිල්වෙස්ටර් පාර හන්දිය අසලදී මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ මියගිය පුද්ගලයා මාර්ගය අතුගාමින් සිටින අවස්ථාවකදීය.

බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිසියේ සහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය මැයි 16 වැනිදා හෝමාගම පොලිස් වසමේ මාකුඹුර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පිටුපස තිබී වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි බව පැවසෙන යතුරුපැදියේ කොටස් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.