May 15, 2025

චීන වෙළඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මෙම මස අවසානයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිත අතර ඔහු සමග එරට සමාගම් 77ක ව්‍යාපාරික නියෝජිතයින් 115 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද එම සංචාරයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරය සැළකෙන්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සඳහා විශාල පිටුවහලක් ලෙසයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලය සහ යන්ත්‍රෝපකරණ සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය සහ අපනයනය සඳහා වූ චීන වාණිජ මණ්ඩලය සමඟ එක්ව මැයි 30 වැනිදා කොළඹදී පැවැත්වෙන ඉහළ පෙළේ ශ්‍රී ලංකා-චීන වෙළෙඳ හා ආයෝජන සංසදයකට ද චීන වෙළඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ සහභාගි වනු ඇත.

ද්විපාර්ශ්වික වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට, ව්‍යාපාර ගැලපීමට පහසුකම් සැලසීමට සහ විවිධ ක්ෂේත්‍රවල නව වෙළෙඳ සහ ආයෝජන මාර්ග හඳුනාගැනීමට මෙම සංසදය සුවිශේෂී වේදිකාවක් ලෙස ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂිතය.

අමාත්‍යවරයා සමග පැමිණෙන චීන ව්‍යාපාරික නියෝජිත පිරිස මෙරට ව්‍යාපාරික සහ ආයෝජන හවුල්කරුවන් සමඟ සාකච්ඡා සඳහා සහභාගීවීමට ද නියමිතව තිබේ.

එම නියෝජිතයින් චීනයේ ප්‍රධාන අංශ හතරක් නියෝජනය කරන අතර යන්ත්‍රෝපකරණ සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය සහ අපනයනය සඳහා වූ චීන වාණිජ මණ්ඩලය, ආහාර ද්‍රව්‍ය ආනයනය හා අපනයනය පිළිබඳ චීන වාණිජ මණ්ඩලය, දේශීය නිෂ්පාදන සහ සත්ව අතුරු නිෂ්පාදන සඳහා වන වාණිජ මණ්ඩලය සහ රෙදිපිළි ආනයනය සහ අපනයනය සඳහා වූ වාණිජ මණ්ඩලය එම අංශ වේ.

කළු තේ, සාදික්කා සහ කරාබුනැටි වැනි කුළුබඩු, මුහුදු ආහාර, පැපොල්, අන්නාසි, පේර, අඹ වැනි පලතුරු මෙන්ම අනෙකුත් ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු භෝග මෙරටින් ආනයනය කිරීමට නියෝජිත පිරිස කැමැත්ත පළකර ඇත.

එමෙන්ම සුදුළූණු, දුරු ඇට, මහදුරු බීජ, විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන, ඇට වර්ග, අර්තාපල්, එළවළු අයිතම, රෙදිපිළි සහ ගෘහ රෙදිපිළි නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වාදීමට චීන ව්‍යාපාර බලාපොරොත්තු වේ.

ජල පිරිපහදු කිරීම, පිරිසිදු බලශක්තිය, පාරිසරික ආරක්ෂණ තාක්ෂණයන්, ඉංජිනේරු සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවය නැංවීම සමඟින් සේවා අංශය සම්බන්ධයෙන් ද ඔවුන් විශේෂ අවධානයක් යොමුකරනු ඇත.

මීට අමතරව, මෝටර් රථ කර්මාන්ත දාමය සහ තේ වගාව සහ තේ ව්‍යවසාය සංවර්ධනය කෙරෙහි ආයෝජන සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.