May 15, 2025

බාලවයස්කාර දරුවන්ට නීතිවිරෝධී මත්පැන් පානය කිරීමට ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව රක්වාන බාර්වත්ත ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්විණි.

එහිදී විරෝධතාකරුවන් පැවසුවේ බාර්වත්ත ප්‍රදේශයේ 14 හැවිරිදි බාලවයස්කාර දරුවකු පොල් කැඩීම සඳහා යොදාගෙන ඔහුට මුදල් ගෙවීම වෙනුවට නීතිවිරෝධී මත්පැන් පානය කිරීමට සලස්වා ඇති බවයි.

එම සිද්ධියට එරෙහිව බාර්වත්ත ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වූ අතර ප්‍රදේශයේ පවතින නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර සහ මත්පැන් හල්වලට එරෙහිව පියවර ගන්නා ලෙස විරෝධතාකරුවෝ පොලිසියෙන් ඉල්ලා සිටියහ.

මෙම විරෝධතාව හේතුවෙන් දෙනියාය-රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පැය 03 ක පමණ කාලයක් බාධා එල්ල වී තිබිණි.

සංවිධානාත්මක පිරිසක් මෙම ජාවාරම පාලනයකින් තොරව සිදුකරන බවත්, ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවත් විරෝධතාකරුවෝ පෙන්වාදෙති.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි රත්නපුර පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස විරෝධතාකරුවන්ට පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මේ වන විටත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන බැවින් තවදුරටත් ප්‍රදේශයේ ජාවාරම සිදුවන්නේ නම් තමාට හෝ සහකාර පොලිස් අධිකාරීවරයාට දන්වන ලෙස‍යි.