May 9, 2025

විශේෂ බලකා විසිරයෑමේ පෙළපාලියක් සඳහා වූ නිරූපණයක් අතරතුර අද උදෑසන මාදුරුඔය ජලාශයට බෙල් 212 හෙලිකොප්ටරයක් ​​කඩාවැටීමෙන් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ:

‘ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හදිසි අනතුරකට ලක්වෙයි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ පිහිටි අංක 07 පියාසර බලඝණයට අයත් බෙල් – 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යුධ හමුදා විශේෂ බලකා විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනාත්මක අභ්‍යාසයක නිරතව සිටියදි ඇතිවූ හදිසි තත්වයක් හේතුවෙන් අද දින උදෑසන (2025 මැයි මස 09 වන දින) මාදුරුඔය ජලශයට වැටි අනතුරකට ලක්වී ඇත.
මෙම හෙලිකොප්ටර් යානය පෙරවරු 06.46 පැයට හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරෙන් ගුවන් ගතවී මාදුරු ඔය යුධ හමුදා විශේෂ බලකා කදවුර වෙත ගොස් යුධ හමුදා විශේෂ බලකා විසිර යාමේ පෙළපාළියේ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරිමක් සදහා යුධ හමුදා විශේෂ බලකා සාමාජිකයින් 06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුලු වෙලාවකට පසු මෙම අනතුරට පත්ව ඇත.
අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා හා ගුවන් යානයේ කාර්යය මන්ඩලය ඇතුලුව 12 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනාම මුදා ගැනිමෙන් අනතුරුව මූලික ප‍්‍රතිකාර සදහා අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා පොලොන්නරුව මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුධ හමුදා විශේෂ බලකා සෙබලුන් හතරදෙනෙකු ඇතුලුව 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම ගුවන් අනතුර පිළිබදව වැඩිදුර පරික්ෂණය සිදුකිරිම සදහා 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් ගුවන් හමුදාපති තුමන් විසින් පත්කර ඇත.’