May 4, 2025

‘අරගලය’ සමයේදී විනාශ වූ නිවාස සඳහා ප්‍රාදේශීය සභා සහ මහනගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු හිටපු පළාත් පාලන නියෝජිතයන් 92 දෙනෙකු රුපියල් මිලියන 620 කට අධික වන්දි ලබාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙළිකළේය.

සෙනසුරාදා (3) හොරණ පැවති මහජන රැස්වීමක් අමතමින් ඔහු මේ බව අනාවරණය කළේය.

2022 වසරේ ‘අරගලය’ සමයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් රැසකගේ නිවාස ගිනිතබා තිබිණි.

ඔවුන්ගෙන් බහුතරයක් එවකට පාලක පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් වේ.

2022 මැයි 9 වැනි දින ‘අරගලය’ සමයේදී ගිනිතැබීම් හේතුවෙන් තම නිවාසවලට සිදු වූ දේපළ හානි සඳහා වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පෙබරවාරි 06 වැනි දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාවට අනුව, හිටපු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් 43 දෙනෙකුට වන්දි වශයෙන් රුපියල් බිලියන 1.22 ක් ලබා දී තිබිණි.

මෙම ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයන් නිවාස වෙනුවෙන් රජයෙන් වනියක් මෙන්ම, රක්ෂණයක්ද, එසේම වෙනත් නිවෙසක්ද ලබාගෙන ඇතැයි ඇමැති නලින්ද ජයතිස්ස අනාවරණය කළේය.