May 3, 2025

ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්ථානයෙන් සියලුම භාණ්ඩ සෘජු හා වක්‍ර ලෙස ආනයනය කිරීම තහනම් කර ඇත.

ඒ, ඉන්දීය රජය ඊයේ නිකුත් කරන ලද නියෝගයකට අනුවය.

ජාතික ආරක්ෂාව සහ පොදු ප්‍රතිපත්තිමය ගැටළු උපුටා දක්වමින් එම තීරණය ප්‍රකාශයට පත්කර ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන ආනයන නැවැත්වීමේ මෙම තීරණය පසුගිය දා කාශ්මීරයේ පහල්ගම් හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව පාකිස්ථානයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ගවල නවතම පියවරයි.

මෙම තහනම ඔස්සේ පාකිස්ථානයෙන් ඉන්දියාව පැමිණෙන සියලුම නැව්ගත කිරීම් අත්හිටුවනු ඇත.

ඉන්දියාවේ වාණිජ අමාත්‍යාංශයට අනුව, 2024 අප්‍රේල් සිට 2025 ජනවාරි දක්වා ඉන්දියාව පාකිස්ථානයට කරන ලද අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 447.7ක් වූ අතර ආනයනවල වටිනාකම අමෙරිකානු ඩොලර් 420,000 පමණි.

ඉන්දියාව පාකිස්ථානයට අපනයනය කරන නිෂ්පාදන අතරට ඖෂධ, ඛනිජ තෙල් නිෂ්පාදන, ප්ලාස්ටික්, රබර්, කාබනික රසායන ද්‍රව්‍ය, ඩයි වර්ග, එළවළු, කුළුබඩු, කෝපි, තේ, කිරි නිෂ්පාදන සහ ධාන්‍ය වර්ග ඇතුළත් වේ.

පකිස්තානය ඉන්දියාවට අපනයනය කරන නිෂ්පාදන මූලික වශයෙන් තඹ, වීදුරු භාණ්ඩ, කාබනික රසායන ද්‍රව්‍ය, සල්ෆර්, පළතුරු සහ ඇට වර්ග මෙන්ම ඇතැම් තෙල් නිෂ්පාදනයට ගන්නා බීජ වර්ග හැඳින්වේ.

මෙම තහනම දෙරට අතර දැනටමත් පවතින සීමිත වෙළෙඳ සබඳතා තවදුරටත් පළුදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.