March 25, 2025

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති යෝජනාවට සමගි ජන බලවේගය පූර්ණ සහය පළකර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගය සහය පළකරන බවයි.

දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජනබලවේගය ප්‍රථම වරට ක්‍රියාකළේ පසුගිය ආණ්ඩුව සමයේ බව ද ඔහු සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව බවත්, මෙම ව්‍යවස්ථා කඩකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පමණක් නොව කථානායකවරයාද වගකිව යුතු බවත් ඔහු පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ සිදු වූ සිදුවීම් සම්පූර්ණයෙන්ම විකෘත්‍රි කර රටේ උත්තරීතර නීතිය මුළුමනින්ම නොසළකා හරිමින් ක්‍රියාකර ඇති බවට ද සජිත් ප්‍රේමදාස චෝදනා කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව දේශබන්දු තෙන්නකෝන් පත්කළ විට සහ නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක්වෙද්දී දැන් කෑ ගසන පුද්ගලයන් සම්පූර්ණයෙන්ම නිහඬව සිටි බව‍යි.

ප්‍රමාද වුවද දැන් විශ්වාසභංගයක් ගෙන ඒම පිළිබඳව සෑහීමකට පත්වන බව පැවසූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, ඒ සඳහා තම පක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බවයි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනකු අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.