March 9, 2025

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ විගණනය මඟින් එම අමාත්‍යාංශය යටතේ පවතින නිවාස ව්‍යාපෘතිවල සැලකිය යුතු ප්‍රමාදයන් සහ මූල්‍ය අවභාවිතයන් හෙළිදරව් කර තිබේ.

ඒ අනුව, ප්‍රතිලාභීන් සිය ගණනක් නිවාස නොමැතිව සිටින බවත් රුපියල් මිලියන ගණනින් මුදල් අපතේ ගොස් ඇති බවත් අනාවරණ වී තිබේ.

2023 වාර්තාව මගින් 2016 සහ 2021 අතර ආරම්භ කරන ලද අසම්පූර්ණ නිවාස ව්‍යාපෘති 62ක් පිළිබඳ අනාවරණ කර ඇති අතර රුපියල් මිලියන 846.85ක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇති බවත්, වැවිලි මානව සංවර්ධන භාරයට අධීක්ෂණ සහ කළමනාකරණ ගාස්තු සඳහා රුපියල් මිලියන 51.37ක් වෙන්කර ඇති බවත් එමගින් වාර්තා කර තිබේ.

ග්‍රීන් ගෝල්ඩ් නිවාස ව්‍යාපෘතිය මගින් මහනුවර නිවාස ඒකක 15ක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 168.8කි. නුවරඑළිය, හැටන්, මහනුවර, ගාල්ල සහ රත්නපුර හරහා ඒකක 211 වෙනුවෙන් රුපියල් මිලියන 48.2ක්, අතිරේක ඒකක 29 ක් සඳහා මිලියන 117.2 ක් ලෙස එම වියදම් දැක්වේ.

මේ වියදම් වාර්තා වූවද එම ඒකක සම්පූර්ණ කර නොමැති බව පැවසේ.

නායයෑමේ අවදානම පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනතුරු ඇඟවීම් නොතකා 2019 වසරේ ආරම්භ කරන ලද මැණික්කඩවර සහ මහපල්ලේගම ප්‍රජා ජල ව්‍යාපෘතිය රුපියල් මිලියන 33ක් වියදම් කිරීමෙන් අනතුරුව අත්හැර දමා තිබිණි.

එසේම, 2016 වසරේ ආරම්භ කරන ලද කෑගල්ල දිස්ත්‍රික්කයේ හබලක්කාව ජල සම්පාදන ව්‍යාපෘතිය අසම්පූර්ණව පවතින අතර, 2023 දෙසැම්බර් වන විට 10-80% ක ප්‍රගතියක් ලබා ඇත.

අදාළ විගණන වාර්තාව මගින් නව නිවාස ව්‍යාපෘතියක් පිළිබඳව ද අනාවරණ කර අතර එහිදී නුවරඑළිය, හැටන්, මහනුවර සහ කෑගල්ල යන ප්‍රදේශවල නිවාස ඒකක 157ක් සඳහා 2021 වසරේදී රුපියල් මිලියන 92ක් වැයකර ඇති අතර 2020 සහ 2021 දී ඒකක 104 ක් වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 45.6 කි.

කෙසේවෙතත් ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 173 ක් වන කෑගල්ල සහ හැටන් නිවාස ඒකක 56 ක් 2023 දෙසැම්බර් වන විටත් නිමකර නොමැත.

ඉදිකිරීම් ද්‍රව්‍ය පිරිවැය ඉහළයෑම හේතුවෙන් බොහෝ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන් වැඩ නවතා දමා ඇති අතර, නිමකිරීම තවදුරටත් ප්‍රමාද වීමට එය හේතු වී තිබේ.

වාර්තාවේ ශක්‍යතා අධ්‍යයනයන් නොමැතිකම, විශේෂඥ නිර්දේශ නොසළකා හැරීම සහ කොන්ත්‍රාත්කරුගේ දුර්වල අධීක්‍ෂණය ඇතුළු කළමනාකරණ දුර්වලතා රැසක් පෙන්වාදී ඇත.

අසාර්ථක කළමනාකරණයට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති අතර තවදුරටත් මූල්‍ය පාඩු වළක්වා ගැනීම සඳහා දැඩි අධීක්ෂණයක් කළ යුතු බව ද නිර්දේශ කර තිබේ.(Sunday Morning)