February 13, 2025

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් NR Consultancy (Pvt.) Ltd හි ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලදී.

නඩු විභාගය අතරතුර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අනෙකුත් සැකකරුවෝ අධිකරණයේ පෙනීසිටියහ.

මෙම කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇති බවත්, නඩු උපුටා ගැනීම් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් CID නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නේය.

කෙසේවෙතත්, නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ඔවුහු පැවසූහ.

ඒ අනුව, නඩුව අගෝස්තු 07 වන දින නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එදිනට නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණයට දැනුම්දෙන ලෙසද උපදෙස් දුන්නේය.

‘යහපාලන’ ආණ්ඩුව සමයේදී මෙම නඩුව මුලින් ගොනු කරන ලද්දේ, NR Consultancy (Pvt) Ltd හි අධ්‍යක්ෂවරුන් ලෙස සේවය කළ නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ යන අයට එරෙහිවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී, නීතිවිරෝධී ලෙස ලබාගත් බව කියන රුපියල් මිලියන 15ක මුදලක් එම සමාගමට ආයෝජනය කළ බවට ද මෙම නඩුවෙන් චෝදනා එල්ල වේ.