February 9, 2025

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ගිනි අවියක් සහ උණ්ඩ රැගෙන පළාගොස් තිබේ.

ඊයේ (08) රාත්‍රියේ මාර්ග බාධක රාජකාරියක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටියදී කොස්තාපල්වරයා ගිනි අවිය සහ උණ්ඩ 30 ක් රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

කෙසේවෙතත්, ඔහු මාර්ග බාධකයේ රාජකාරියට වාර්තා නොකිරීම නිසා, ඔහු සොයාගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඔහුගේ ජංගම දුරකථනය හරහා ඔහු සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී තිබේ.

පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, සැකකාර නිලධාරියා ඊයේ රාත්‍රියේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් ඩුබායි බලා රටින් පිටත්ව ගොස් ඇති බවයි.

ඒ අනුව, සැකකාර පොලිස් නිලධාරියා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය හරහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.

ඔහු සතුව තිබූ ගිනි අවිය තවමත් සොයාගෙන නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.