August 17, 2024

දරුවන් පරිවාස භාරයට පත්වීමේ සිදුවීම් ඉහළ යෑමට මව්පියන්ගෙන් එක් අයකු හෝ දෙදෙනාම සංක්‍රමණය වීම සහ දික්කසාද වීම හේතුවක් වී තිබෙන බව පෙනී ගොස් තිබේ.

“ආර්ථික දුෂ්කරතා නිසා මව්පියන් එක්කෙනෙක් හෝ දෙදෙනාම විදේශගත වූ විට දරුවන් ආච්චිලා සීයලා ළඟ දාලා යනවා, එහෙමත් නැතිනම් ඔවුන්ව බලාගන්නේ නැතිව යනවා. දික්කසාදය සම්බන්ධයෙන් ද එය එසේම වෙනවා. දෙමව්පියන් දික්කසාද වූ විට, සමහර විට ඔවුන් තම දරුවන් නොසළකා හරිනවා ,” යැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන පෙන්වා දෙයි.

ඒ අනුව එම දරුවන්ට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති ආරක්ෂිත නිවාස තුළ රැකවරණය සහ ආරක්ෂාව අවශ්‍ය බවට පැමිණිලි ලැබෙන බව ඇය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය විදේශගත ශ්‍රමිකයන්ගේ වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට පමණක් අදාළ නොවන අතර නොසළකා හැරීමට මුහුණ දෙන වයස අවුරුදු 18ට අඩු සියලුම දරුවන්ට අදාළ වන බව ද ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසයි.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක ළමා අපයෝජන ක්‍රමයක් ලෙස ළමා නොසළකා හැරීම හඳුනාගෙන තිබේ.

එය නොසළකා හැරීම දරුවාගේ ශාරීරික අවශ්‍යතා සහ/හෝ චිත්තවේගීය අවශ්‍යතා නොසළකා හැරීමක් ලෙස සිදුවිය හැකි බව ද ඔවුන් සඳහන් කර තිබේ.

ජාතික ළමාරක්ෂක අධිකාරියට මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා රැකවරණය සහ ආරක්ෂාව අවශ්‍ය ළමුන් 1,332ක් වාර්තා වී ඇත.