August 10, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හමු වී තිබේ.

උතුරු නැගෙනහිර මුහුණ දෙන ගැටලු මෙන්ම සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් එම පළාත්වලට අයත් දිස්ත්‍රික්කවල සංවර්ධනය පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව උතුරු පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ගීතනාත් කාසිලිංගම් ප්‍රකාශ කර ඇත.

උතුරු නැගෙනහිර දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ එක්ව ප්‍රදේශයේ ජනතාවගේ දුක්ගැනවිලි විසඳීමට මෙන්ම තරුණ තරුණියන්ට ජීවනෝපාය සහ යහපත් අනාගතයක් ලබාදීමට කටයුතු කිරීමට තමන් සූදානම් බව නාමල් රාජපක්ෂ මෙහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් උතුරු නැගෙනහිර පුරවැසියන්ට වඩා හොඳ අනාගතයක් සහතික කිරීම තමාට අවශ්‍ය බවත්, මෙම දිස්ත්‍රික්ක අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථාන බවට පත් කිරීමට තමා අදහස් කරන බවත් රාජපක්ෂ පවසා ඇත.

කාසිලිංගම් පැවසුවේ, ප්‍රදේශයේ දුක්ගැනවිලි සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ රැස්වීමක් පවත්වන ලෙස රාජපක්ෂ තවදුරටත් ඉල්ලා සිටි බවයි.

හෙට රැස්වන දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී රාජපක්ෂ විසින් මතු කරන ලද මෙම කරුණු පිළිබඳ සාකච්ඡා කරන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති අතර උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට රාජපක්ෂ දරන උත්සාහය අගය කළ බව ද කාසිලිංගම් සඳහන් කර ඇත.