June 28, 2024

චීනය බලා ගොස් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එරට විදේශ කටයුතු පිළිබඳ උප ඇමැති Sun Weidong අතර හමුවක් බීජිං නුවරදී අද සිදුව තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ අගමැති ලී චියැන්ග් සහභාගී වන සාමකාමී සහජීවනයේ මූලධර්ම පහ – 70 වැනි සංවත්සරය’ට සහභාගී වීමට හිටපු ජනාධිපතිවරයා බීජිං නුවර බලා ගොස් තිබිණි.

උප ඇමැති සමග පැවති සාකච්ඡාවේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබඳ අවධානය යොමු වී ඇත.

එහිදී උප ඇමැති Sun විසින් හිටපු ජනාධිපති රාජපක්ෂ හඳුන්වා ඇත්තේ ‘චීනයේ පැරණි මිතුරකු’ ලෙසය.

2014 වසරේ රාජපක්ෂ පාලන සමයේදී ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදුකළ ඓතිහාසික සංචාරය ද ඔහු සිහිපත් කර ඇත.

ශ්‍රී ලංකාව සහ චීනය එක් තීරයක් – එක් මාර්ගයක් මුලපිරුමේ ඉතා හොඳ හවුල්කරුවන් බව ද උප ඇමැති Sun Weidong අවධාරණය කර තිබේ.

සාමකාමී සහජීවනය පිළිබඳ චීනයේ මූලධර්ම පහට සහ මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සඳහා වන ජනාධිපති ෂී ගේ දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සිය උපරිම සහාය ලබා දෙන බවට ඔහු සහතික වී තිබේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනය දක්වන සහාය පිළිබඳ කෘතඥතාව පළ කළ මහින්ද රාජපක්‍ෂ ඉදිරියේදී ද අඛණ්ඩව එම සහාය ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.