June 25, 2024

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඔහු මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ වාර්ෂික බෝරා සම්මේලනය පිළිබඳ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදීය.

පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූලි මස 7 වැනිදා සිට 16 වැනිදා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සම්මේලනය පැවැත්වේ.

මෙම සම්මේලනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුලු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා මෙන්ම, ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කොළඹ මහනගර සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා පොලීසිය, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුලු රේඛීය ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් අදාළ සකාඡාවට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.