
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තවමත් තානාපතිවරයකු පත්ව ගොස් නොමැති බව වාර්තා වේ.
විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය පවසන්නේ පවතින තත්ත්වය හමුවේ නව තානාපතිවරයකු පත් කරනතුරු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු තානාපති කාර්යාලයට යැවීමට රජය සැලසුම් කර ඇති බවයි.
තානාපතිවරයකු නොමැති වීම හුදෙක් කාර්ය පටිපාටිය අනුව පවතින ප්‍රමාදයක් පමණක් බවත්, රුසියාවේ පවතින තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එහි කටයුතු අධීක්‍ෂණය කිරීමට යොමු කරන බවත් ඔහු පවසයි.
“දැනට තානාපතිවරයකු නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයක් නෙවෙයි. අපේ විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුත් එහි ඉන්නවා. කෙසේවෙතත්, පවතින හදිසි අවශ්‍යතාව සැළකිල්ලට ගෙන, අපි ඉතා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු ද යවන්න ඉන්නේ. ඔහු දැන් විශ්‍රාමිකයි, නමුත් අපි ඔහුව යවනවා,” යනුවෙන් ඔහු සඳහන් කරයි.
දැනට රුසියාවේ සිටින නිලධාරියා ප්‍රමාණවත් නොවන බව මින් ඇඟවෙන්නේ නැති බවත්, මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවත්, සාමාන්‍ය ක්‍රියාපිළිවෙත අනුව කටයුතු සිදුවන බවත් රාජ්‍ය ඇමැති බාලසූරිය අවධාරණය කරයි.
“පසුගිය තානාපතිවරයාට සේවා දිගු තුනක් ලබාදී තිබුණා. තානාපතිවරයා ආපසු පැමිණි පසු නව තානාපතිවරයකු වැඩ භාර ගැනීමට මාස දෙක තුනක පමණ පරතරයක් තිබීම සාමාන්‍ය දෙයක්” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
කෙසේවෙතත් පත් කෙරෙන නව තානාපතිවරයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට අනුව රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ ලියනගේ පසුගිය අප්‍රේල් 29 වැනි දින මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිය සේවය අවසන් කළාය.
වර්තමානයේ, උපදේශක රුවිනි කේ. මුනිදාස තානාපති කාර්යාලයේ වැඩ භාර නිලධාරිනිය ලෙස කටයුතු කරයි.
මේ අතර, බොරු රැකියා පොරොන්දු දී ජාවාරම් කරන ලද ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ දූත පිරිසක් රුසියාවට පිටත් කර හැරීමට තීරණය කිරීමත් සමඟ රුසියාව පැත්තෙන් කරුණු තහවුරු වූ පසු එම නියෝජිත පිරිස පිටත්ව යෑමට සූදානම් වූ බව බාලසූරිය රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
“අපි දූත පිරිසේ නම් රුසියානු බලධාරීන්ට ලබා දී රුසියානු රජය සමඟ රැස්වීම් සඳහා පහසුකම් සපයන ලෙස ඉල්ලා සිටියා. ඔවුන් රැස්වීම් තහවුරු කළ පසු, නියෝජිත පිරිස හැකි ඉක්මණින්ම යයි.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
පවතින තත්ත්වය යටතේ රුසියාවට ගිය ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රජය නිරීක්ෂණය කරමින් සිටින බව පැවසූ ඔහු ඒ සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ද ක්‍රියාත්මක බව පැහැදිලි කළේය.
“අපි තත්ත්වය නිරීක්ෂණය කරනවා. ඔවුන් රුසියාවට යෑමට මාර්ග පහක් පමණ යොදාගෙන ඇති බව මම විශ්වාස කරනවා. ඔවුන් කොළඹ සිට මොස්කව් හෝ ශාන්ත පීටර්ස්බර්ග් වෙත කෙලින්ම පියාසර කර නැහැ, වෙනත් රටවල් හරහායි ගිහින් තියෙන්නේ” යනුවෙන් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
“ආරක්ෂක අමාත්‍යාංශයට (MOD) මේ සම්බන්ධයෙන් දැනුම්දෙන්න ක්ෂණික දුරකථන අංකයක් තිබෙනවා. එසේම, රුසියාවට ගිය අයගේ ළඟම ඥාතීන් දන්නා ඕනෑම කෙනෙකුට අපි අවධාරණය කර තිබෙනවා පුවත්පත් සහ මාධ්‍ය හරහා, ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දීමට කටයුතු කරන්න කියලා. අපගේ කොන්සියුලර් කාර්යාලයටත් යම් යම් තොරතුරු ලැබී තිබෙනවා, ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්නේ.” යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
කෙසේවෙතත්, මෙලෙස රුසියාව බලා පිටත්ව ගිය පුද්ගලයන් සංඛ්‍යාව නිශ්චිතව හඳුනාගැනීම දුෂ්කර බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
මේ වන විට ශ්‍රී ලාංකිකයන් 600ත් 800ත් අතර සංඛ්‍යාවක් රුසියාවේ සිටින බවට නිල නොවන වාර්තා ඇතැයි පෙන්වා දුන් ඇමැතිවරයා කියා සිටියේ නිශ්චිතව පැවසීමට ක්‍රමයක් නොමැති වුවද මෙම සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩි විය හැකි බවයි.
එසේම ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසන්නේ ද රුසියාවට ගිය බොහෝ දෙනෙකු මුලින්ම ඉන්දියාවට ගොස් ගොඩබිම හරහා එවැනි ගමනාන්ත වෙත සංචාරක වීසා ලබාගෙන ගොස් ඇති බැවින් එම සංඛ්‍යාව සඳහන් කිරීම අපහසු බවයි.
ඒ අනුව, මිනිස් ජාවාරමට සම්බන්ධ යැයි කියනු ලබන සමාගම් විසින් රුසියානු-යුක්රේන යුද පෙරමුණේ සටන් කිරීමට බඳවා ගත් පුරවැසියන් සම්බන්ධයෙන් මිනිස් ජාවාරම් කාර්ය සාධක බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පොලිසිය පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart