May 1, 2024

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Waterfront Properties විසින් සංවර්ධනය කරන ලද එහි ඒකාබද්ධ නිවාඩු නිකේතන ව්‍යාපෘතිය සඳහා මැකාවු රාජ්‍යයේ ලෝකප්‍රකට කැසිනෝ ජාලයක් වන Melco සමඟ හවුල්කරුවන් ලෙස ක්‍රියාකරන බව ජෝන් කීල්ස් සමාගම ඊයේ නිවේදනය කර තිබේ.

ඒ අනුව, ජෝන් කිල්ස් සමූහය පවසන්නේ, Melco Resorts & Entertainment Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් ඩොලර් බිලියනයකට අධික ආයෝජනයකින් සංවර්ධනය කර ඇති Cinnamon Life Integrated Resort හි සූදු පහසුකම් ක්‍රියාකරු ලෙස කටයුතු කරන බවයි.

Melco විසින් සූදු අවකාශය සවිකිරීම සහ සන්නද්ධ කිරීම සඳහා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 125 ක් ආයෝජනය කරනු ඇත.

Melco යනු මැකාවු, පිලිපීනය සහ සයිප්‍රසයේ අන්තර්ජාතිකව කීර්තිමත් ඒකාබද්ධ නිවාඩු නිකේතන සහිත ලොව ප්‍රමුඛතම කැසිනෝ සහ ඒකාබද්ධ නිවාඩු නිකේතන ක්‍රියාකරුවන්ගෙන් එකක් බව ද පැවසේ.

ජෝන් කීල්ස් සමූහය සහ Melco අතර සහයෝගීතාවයේ කොටසක් ලෙස, මීට පෙර ‘Cinnamon Life Integrated Resort’ ලෙසින් නම් කර තිබූ ඒකාබද්ධ නිවාඩු නිකේතනය ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ ලෙස යළි නම් කෙරේ.

‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ යනු මෙල්කෝ හි ප්‍රමුඛතම ඒකාබද්ධ නිවාඩු නිකේතන සන්නාමයයි.

ජෝන් කීල්ස් සමූහයට අනුව ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ දකුණු ආසියාවේ ප්‍රථම අංගසම්පූර්ණ ඒකාබද්ධ නිකේතනය වන අතර, ඒ ඔස්සේ අනෙකුත් නගරවලට සමානව කොළඹ නගරයේ සංචාරක, විදේශ විනිමය ඉපැයීම් සහ රැකියා උත්පාදනයේ නැගීමක් ඇති කිරීමට අපේක්ෂා කරයි.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් සිදු කරනු ලබන මෙරට විශාලතම සහ වඩාත්ම අභිලාෂකාමී පුද්ගලික අංශයේ ආයෝජනය වන මෙම බහුවිධ ඒකාබද්ධ නිවාඩු නිකේතනය විවේකයේ සිට ව්‍යාපාරයේ සිට පවුල කේන්ද්‍ර කරගත් ක්‍රියාකාරකම් දක්වා පාරිභෝගිකයින් රැසකට සේවා සපයනු ඇති.