April 28, 2024

වසර ගණනාවකට පසු ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ තොග නොමැති ඖෂධ වර්ග සංඛ්‍යාව 100කට වඩා පහත වැටී ඇති බව වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ ඖෂධ හිඟයක් පැවතුණද වෛද්‍ය සැපයුම් අංශය දැනට ලැයිස්තුගත කර ඇති ලේඛනය අනුව තොග නොමැති ඖෂධ වර්ග ඇත්තේ 58ක් පමණක් බවයි.

මෙම ඖෂධවලින් බහුතරයක් සාමාන්‍ය භාවිතයේ නොමැති උසස් තත්ත්වයේ ඖෂධ බව වෛද්‍ය විජේසිංහ පෙන්වා දී තිබේ.

එසේ වුවද පවතින තත්ත්වය විකල්ප ඖෂධ සමඟ කළමනාකරණය කරන බවත් මේ වන විට තත්ත්වය සාපේක්ෂව ස්ථාවර බවත් ඔහු සඳහන් කර ඇත.

පෙබරවාරි මාසයේදී අත්‍යාවශ්‍ය ඖෂධ 150කට අධික සංඛ්‍යාවක් වෛද්‍ය සැපයුම් අංශය සතුව නොතිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල්වලට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අහිතකර බලපෑමක් ඇති විය.

තවද, කාර්ය මණ්ඩල හිඟය සහ පහසුකම් හිඟය හේතුවෙන් අවශ්‍ය අනුමැතිය ලබා දීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මුහුණ දෙන අභියෝග පිළිබඳවද ඔහු අවධාරණය කරයි.

එම්ආර්අයි යන්ත්‍ර වැනි වෛද්‍ය තාක්‍ෂණික උපකරණ නඩත්තු ගිවිසුම් සම්බන්ධයෙන් නොවිසඳුණු ගැටලු ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබුණ ද එය සම්පූර්ණයෙන්ම විසඳී නොමැති බව වෛද්‍ය විජේසිංහ පවසයි.

( The Sunday Morning)