April 22, 2024

“යතුරුපැදි හා මෝටර් රථ තරග මාරුවෙන් මාරුවටයි පැවැත්වුණේ.‍ හවසත් මෝටර් රථ තරගයක් තිබුණා. කාලෙකට පස්සේයි අපිට මේ වගේ තරගයක් බලන්න හම්බ වුණේ. ඒ නිසා ආසාවෙන් බලාගෙන හිටියා. පැයට කිලෝමීටර් 160ක පමණ වේගයෙන් ධාවනය වෙමින් තිබ්බ කාර් එකක් කරණම් ගහමින් පෙරළෙන්න ගත්තා. ඒත් එක්කම ලොකු දුහුවිල්ලකින් හැම දෙයක්ම වැහිලා ගියා. ළඟ ඉන්න කෙනාව පේන්නේ නැති ගානට දූවිලි ඇවිස්සිලයි තිබුණේ. සුළඟත් එක්ක. ඒ දූවිලි අතරින් මම දැක්කා තවත් කාර් එකක් වේගයෙන් ඇවිත් පෙරළුණු කාරයේ හැප්පෙනවා. ඒත් එක්කම ඒ කාර් එක උඩින් විසිවෙලා වගේ වැණේ සෙනඟ හිටපු තැනටයි“ මෙම බිහිසුණු අනතුර ඇසින් දුටු හපුතලේ පදිංචි ගනේෂ් කුමාර් මූර්ති ‘දිනමිණ‘ සමඟ ඒ ගැන පවසා ඇත්තේ ඒ ආකාරයෙනි.

“අපි මේ වගේ දේවල් දැක තිබුණේ ටී.වී. එකෙන්. ඒ වෙලාවේ අපිව වෙව්ලන්න ගත්තා. මොනවද සිද්ධ උණේ කියල හිතා ගන්නත් බැරිවුණා. හැම තැනම කට්ටිය වැටිල හිටියා. දුහුවිල්ල නිසා මේ අනතුර හරිහැටි කවුරුත් දැක්කේ නැහැ. ධාවන පථයේ තිබ්බ අනිත් වාහන තරගය නවත්වන සංඥාව දෙනකම් ධාවනය වුණා. පස්සේ තමයි ගිලන් රථ ඇවිත් තුවාලකරුවන්ව රෝහලට රැගෙන යන්න කටයුතු කළේ. “ යැයිච ගනේෂ් කුමාර් මූර්ති පවසයි.

“කාර් එකක් උඩින් විසිවෙනව වගේ දැක්කා. ඒත් එකකම දුහුවිල්ලෙන් මුළු ප්‍රදේශයම වැහුණා. මෙලෝ දෙයක් පෙනුණේ නැහැ. එකපාරටම උඩින් වගේ ඇවිල්ල කාර් එකක් අපේ ඇඟ උඩට වැටුණා.“ මේ වන විට තුවාල ලබා දියතලාව රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවක් වේදනාවෙන් සිද්ධිය විස්තර කර ඇත්තේ එසේය.

මෙම අනතුරින් මිය ගිය අය මෙසේය.

1 ආර්.අබේනායක යුදහමුදා සෙබළ (ඇඹිලිපිටිය )

2.ගනේෂ් ජයවර්ධන (මාතර )

3. අරුන ශාන්ත උපාලි ගමගේ (මාතර)

4.අශේන් හීනටිගල(මාතර)

5.මුත්තුසාමි උදයකුමාර් (ඩයරබා හංදිය මිරහවත්ත)

6.ශිව කුමාර් දිනුෂිකා (8) (ඩයරබා හංදිය මිරහවත්ත)

7. චමින්ද නිරෝශන් (19) (සීදුව)

මිය ගිය මේ අය අතර සිටින වැලිමඩ ඩයරබා ප්‍රදේශයෙ පදිංචි මුත්තුසාමි උදයකුමාර් (55) සහ ශිව කුමාර් දිනුෂිකා (08) එකම පවුලේ  මුත්තනුවන් හා මිණිබිරිය බව හඳුනාගෙන තිබේ.

අනතුරින් තුවාල ලැබූ අය අතර යුද හමුදා සේවකයන් දෙදෙනකු සිටින බවත්, ඒ අය දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් පොලිසිය කියයි.

අනතුරින් පසු දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ පිරිස 26 දෙනෙකි.

හත්දෙනකු මියගොස් තිබේ.

බරපතළ තත්ත්වයේ තුවාල ලබා සිටි තිදෙ‍නකු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රොහල් ‍පොලිසිය කියයි.

ඊයේ රාත්‍රිය වන විට දියතලාව රෝහලේ අනතුරින් තුවාල ලැබූ 16 දෙනෙක් ප්‍රතිකාර ගනිමින් සිටියහ.

(දිණමින)