April 19, 2024

හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය
හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

තරඟකාරී ලංසු නොමැතිව හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ තවත් ඖෂධ කිහිපයක් ආනයනය කිරීම වැරදි සහ නීති විරෝධී බව ප්‍රකාශ කිරීම, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීම, මිලදී ගැනීම් වලට අදාළ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස විගණකාධිපතිවරයාට නියෝග කිරීම, අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කිරීම සහ රජයට හෝ මහජනතාවට සිදු වූ වියදම් සහ වන්දි අයකර ගැනීමට කටයුතු කිරීම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇති ප්‍රධාන කරුණු කිහිපයකි.

පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් 66 දෙනා අතර කැබිනට් ඇමැති මණ්ඩලය, සෞඛ්‍ය අංශයට අදාළ වත්මන් සහ හිටපු ඉහළ නිලධාරීන්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ආන්දෝලනාත්මක වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම්, භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි සාමාජිකයන්, අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා වේ.

පොදු දේපළ අවභාවිතය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව වගවන ලෙස ඉල්ලා සිටිමින්, මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් පවසන්නේ වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හෝ අත්‍යවශ්‍ය ක්‍රියා නොකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීමට පෙත්සම්කරුවන් අධිකරණයේ මැදිහත්වීම අපේක්ෂා කරයි. එමෙන්ම, ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම සඳහා පනවා ඇති නීතිරීති සහ රෙගුලාසි වලට වගඋත්තරකරුවන්ට අනුකූල වන්නැයි නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතියේ යැයි කියන ලද ‘හදිසි තත්ත්වය’ බොහෝ දුරට දුර්වල කළමනාකරණය නිසා ඇති වූවක් බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන වල නිලතල දරන පුද්ගලයන්ගේ වැරදි කළමනාකරණය විසින් ඉහත කී හදිසි අවස්ථාව සැලසුම් කළේ යම් යටි අරමුණු ඉටු කර ගැනීමේ වුවමනාවට දැයි සැකයක් පවතින බවත් පෙත්සමේ සඳහන් වේ.