April 19, 2024

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ලෙස රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කළ විදුලි ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉදරිපත් කර තිබෙන පනත් කෙටුම්පතින් ඇතැම් දිගු කාලීන ගැටලු පනත් විසඳා නොමැති බැවින් විදුලි පාරිභෝගිකයන්ට අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබෙන බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය පවසයි.

සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ප්‍රකාශ කර තිබුණේ ජනවාරි මාසයේ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් විසින් යෝජනා කරන ලද සංශෝධන මෙහි කෙටුම්පත් කර ඇති අතර පනත් කෙටුම්පත ඉදිරි රැස්වීම් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට එහි නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමට මහජනතාවට සති දෙකක කාලයක් ලැබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ආචාර්ය සියඹලාපිටිය පවසන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට පනත් කෙටුම්පතට හැකියාවක් නොමැති බැවින් අපේක්ෂා කළ පරිදි පාරිභෝගිකයන්ට සැළකිව යුතු බලපෑමක් ඇති නොකරන බවයි.

2002 වසරේ ද මෙවැනිම පනතක් ගෙන ආ බවත් ඒවා නිවැරදිව ක්‍රියාත්මක නොකර නව නීති ඕනෑ තරම් ගෙන ඒමෙන් ඵලක් නොවන බවත් ඔහු පවසයි.

යෝජිත පනත් කෙටුම්පතින් බෙදාහැරීමේ සමාගම් හතර සඳහා කිසිදු සීමාවක් ඇතුළත් කර නොමැති බවත් එමඟින් විදුලිබල ක්ෂේත්‍රය පූර්ණ පෞද්ගලීකරණයක් සහ ඉහළ උපයෝගිතා මිල ගණන් ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු පවසන් පරිදි මෙම නව පනත් කෙටුම්පතට අනුව සම්ප්‍රේෂණයෙන් 50%ක් රජය සතු වේ.

නමුත් බෙදා හැරීම සම්බන්ධයෙන් එවැනි සීමාවන් සඳහන් කර නොමැත.

එබැවින් පූර්ණ පෞද්ගලීකරණයකට හා මිල ඉහළ යෑමට මෙය හේතු විය හැකි බව ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ යෝජිත පනත් කෙටුම්පතේ තරඟකාරී බලශක්ති ප්‍රසම්පාදනය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් නොවන බවයි.

දේශපාලනඥයන් සහ නිලධාරීන් විදුලි බලාගාර පිහිටුවීමට බාධා කිරීමත්, ප්‍රසම්පාදන ක්‍රමයේ තරගකාරීත්වයේ ඌනතාවත් ඉහළ ජනන වියදම්වලට හේතු වී ඇති බව පෙන්වා දෙන ආචාර්ය සියඹලාපිටිය, මෙම පනත් කෙටුම්පත මඟින් අදාළ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි බවට පාර්ශ්වකරුවන් බලාපොරොත්තු වන බව සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ජනන සැලසුම් කණ්ඩායම විසින් කෙටුම්පත් කරන ලද දීර්ඝ කාලීන සැලැස්ම වෙනස් කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් විෂය ඇමැතිවරයාට බලය ලබා දෙන බවත්, එවැනි ප්‍රතිපාදන මගින් විදුලිය සම්බන්ධ ස්ථාවරත්වය පවත්වා ගැනීම වැනි ගැටලු රාශියක් ඇති විය හැකි බවත් ආචාර්ය සියඹලාපිටිය පවසයි.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසන්නේ තම සංගමය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බවයි.

ඇමැතිවරයා සහ බලධාරීන් පාර්ශ්වකරුවන්ගේ අදහස් අනුව පනත් කෙටුම්පත සංශෝධනය කර ඇති බව ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවා ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඇමැතිවරයා දැනට පවතින රජයට හිතවත් ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයකින් පමණක් අදහස් විමසා ඇති බවට චෝදනා කළ ඔහු ඉදිරි මැතිවරණයකදී වත්මන් රජයට බලය අහිමි වුවහොත් මෙම යෝජිත පනත අහෝසි කරන බවද සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන පරිදි, ලංකා විදුලිබල මණ්ඩලය කිසියම් අවස්ථාවක පෞද්ගලීකරණය කළහොත්, මෙම පනත් කෙටුම්පත මගින් සමාගම්වලට අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩි කිරීමට බලය ලැබෙනු ඇත.

කෙසේවෙතත්, ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරන පරිදි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය ඉක්මන් නොවන බවත් කෙටුම්පත විවාදයට ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශකර තිබේ.