April 18, 2024

මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකරන ලද පළමු අයැදුම්පතෙහි වගඋත්තරකාර පාර්ශ්වයන් විසින් එම අයැදුම්පත්‍රය පවත්වාගෙන යෑමේ හැකියාව අභියෝගයට ලක්කරමින් විරෝධතා ඉදිරිපත් කර තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) හිටපු සභාපති ජනක රත්නායකට එරෙහිව අසත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීම වගඋත්තරකාර පාර්ශ්වයන්ට වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අප්‍රේල් 4 වැනිදා කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කර තිබිණි

2024 අංක 09 දරන මාර්ගගත ආරක්ෂණ පනතේ 24 (1) සහ 24 (2) වගන්තිය ප්‍රකාරව පෙත්සම්කාර ජනක රත්නායකට පක්ෂව මෙම කොන්දේසි සහිත නියෝගය නිකුත් කළ අධිකරණය, එම නියෝගය වගඋත්තරකරුවන් වන ගයත්‍රි බිම්බා,ජනක රාජපක්ෂ, ඕෂල හේරත්, යසලාල් පෙරේරා, කල්ප ගුණරත්න සහ කමන්ත තුෂාර යන අය වෙත පනතේ 24 (4) වගන්තියේ දක්වා ඇති පරිදි විද්‍යුත් ක්‍රම මගින් දැනුම්දෙන ලෙස ද නියම කර තිබිණි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ අධිකරණ බලය නොමැතිකම මත අයැම්පත්‍රය පවත්වාගෙන යෑමේ හැකියාව අභියෝගයට ලක්කරමින් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංග මහවත්ත විසින් මෙම නඩුව මැයි මස 2 වැනිදාට කල් තැබීය.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන්, නීතිඥ නෙරංජන් ඊරියගොල්ල, නීතිඥ රශ්මිණී ඉන්දතිස්ස, නීතිඥ නවීන් ජයමාන්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල සහ හෆීල් ෆාරිස් යන ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනීසිටියහ.