April 11, 2024

කොලොන්නාව තෙල්ගබඩා සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ඒ වටා ඇති තාප්පයට පිටතින් වෙන්කර තිබු මාර්ගයක් විවිධ පිරිස් විසින් අත්පත්කරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට එහි ඉදිකිරීම් පවා සිදුකර ඇති ආකාරය දැකගත හැකිය.

තෙල්ගබඩා සංකීර්ණයේ සේවකයන් පෙන්වාදෙන්නේ අඩි 12ක අදාළ මාර්ගය ආරක්ෂක අමාත්‍යංශ යේ අනුමැතියෙන් වෙන්කරන ලද්දක් බවයි.

ජාතික ආරක්ෂාවට වැදගත්වන මර්මස්ථානයක්වන කොලොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණයේ ආරක්ෂාව සඳහා මෙම වෙන්කිරීම සිදුකර තිබේ.

එවැනි දැඩි ආරක්ෂා සහිත කලාපයක් බවට පත්කිරීමට හේතු වී තිබුණේ එම ස්ථානයට 1996 වසරේ එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරය වැනි කරුණු බව සේවකයෝ පවසති.

කොලොන්නාව තෙල් පර්යන්තයේ කලාප 01,02,03,04 යන ප්‍රදේශ ආවරණය වන පරිදි පිහිටා ඇති අදාළ තාප්පයට පිටින් මේ වනවිට ඉදිකිරීම් කර තිබේ.

ඒ අනුව කොලොන්නාව තෙල් පර්යන්තයේ තාප්පයට සම්බන්ධවන ඉදිකිරීම් පවා දැකගත හැකිවේ.

එවැනි ක්‍රියා කොලොන්නාව තෙල් පර්යන්තයේ ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වාදෙන සේවකයන් ප්‍රශ්න කරන්නේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්නයි.