April 11, 2024

එක් තීරයක් එක් මාවතක් සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ රසායනාගාරයක් පිහිටුවීමේට චීනය සැලසුම්කර තිබේ.

චීනයේ Guizhou විශ්වවිද්‍යාලයට අනුව එම ඒකාබද්ධ රසායනාගාරය පිහිටුවීමේ සැලසුම් සාකච්ඡා කිරීම සඳහා චීන පර්යේෂණ කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ප්‍රධාන කර්මාන්තයක් ලෙස තේ වගාවේ නියැළෙන ශ්‍රී ලංකාව එහිදී සිදුකරන සාම්ප්‍රදායික කෘෂිකාර්මික භාවිතයන් චීනය සමඟ සහයෝගයෙන් ගොඩ නගන රසායනාගාරය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී ඇත.

එහිදී හරිත නිවාරණ සහ පාලන තාක්‍ෂණ ක්‍රම ප්‍රචලිත කිරීම සහ භාවිතය පිළිබඳ වැඩි අවධානයක් යොමුවනු ඇත.

හරිත නිවාරණ සහ පාලනය යනු කෘෂිකාර්මික තිරසාරත්වය ප්‍රවර්ධනය කරන අතරම පරිසර පද්ධතිය සහ මානව සෞඛ්‍යය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් රසායනික පළිබෝධනාශක වෙනුවට ජීව විද්‍යාත්මක, පාරිසරික සහ තිරසාර තාක්ෂණික ක්‍රම භාවිත කිරීමෙන් පළිබෝධ, රෝග සහ වල් පැලෑටි වැළැක්වීම සහ පාලනය කිරීමයි.

විශාල දත්ත මත පදනම්ව නිවැරදිව පළිබෝධනාශක අඩු කිරීම, කෘමි පලිබෝධ සහ තේ වතුවල වල් පැලෑටි උවදුර සඳහා ජීව විද්‍යාත්මක පාලන තාක්‍ෂණය සහ තේ පළිබෝධනාශක අපද්‍රව්‍ය ඉලක්ක කරගත් අවදානම් නිරීක්ෂණ සහ පාලන තාක්‍ෂණයෙන් සමන්විත ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් කෙරෙහි රසායනාගාරය සිය පර්යේෂණ අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.

මෙම ප්‍රයත්නයන් හරහා තේ වගාවේ හරිත නිවාරණය සහ පාලනය සඳහා කාර්යක්ෂම, පරිසර හිතකාමී, ආරක්ෂිත සහ පාලනය කළ හැකි පද්ධතියක් සැකසීම රසායනාගාරයේ අරමුණයි.

Guizhou විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මධ්‍යම චීන සාමාන්‍ය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය එක්ව මෙම රසායනාගාරය ස්ථාපනය කරනු ඇත.